ශ්‍රී ලංකාවේ චීන ජාතිකයින් විශාල ලෙස ගැවසෙන ප්‍රදේශවල මුඛ ආවරණ අලෙවිය ඉහළ ගොස් තිබෙනවා. මෙරටට සංචාරකයින් ලෙස පැමිණෙන පිරිස් අතරින් දෙවැනියට වැඩිම පිරිසක් සංචාරය කරන්නේ චීනයේ සිටයි. ජනවාරි සහ පෙබරවාරි යන මාසයන්වල දී අවම වශයෙන් 50,000කට අධික චීන සංචාරකයින් මෙරට සංචාරය කරනු ලබන බව පසුගිය වසර කීපයේ මහබැංකු වාර්තා සාක්ෂි දරයි.
ඊට අමතරව මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති රැසක චීන ජාතිකයින් සේවය කරනු ලබයි. කම්කරුවන් හා ඉංජිනේරුවන්ද ඇතුළත්ව මෙරට චින ජාතිකයින් විශාල පිරිසක් ජීවත් වෙති. ඔවුන් අතර පසුගිය සමයේ චීනයේ ගොස් නැවත පැමිණි පිරිස් ද වෙති.
ඖෂධ අලෙවිසැල් හා ඖෂධ බෙදා හරින්නන්ට අනුව ජනවාරි 26න් අවසන් වූ සතිය තුළ මුඛ ආවරණ අලෙවිය කිහිප ගුණයකින් ඉහළගොස් ඇති අතර මුඛ ආවරණ සඳහා ඉහළ ඉල්ලුමක් ද ඇති වී තිබේ. කොළම පිිහිටි රාජ්‍ය ඔසුසල ඇතුලු ඖෂධ අලෙවිසැල්වලත්, චීන ජාතිකයින් බහුල වශයෙන් සංචාරය කරනු ලබන හා සේවය කරනු ලබන ප්‍රදේශවලත් මුඛ ආවරණ අලෙවිය ඉහළගොස් තිබේ. ඒවා වැඩි වශයෙන් මිල දී ගනු ලබන්නේ ද චීන ජාතිකයින් බව ඖෂධ සැල් සේවකයින් පෙන්වා දෙයි. ඔවුන් තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව මෙන්ම සමාජයේ සෞඛ්‍ය පිළිබඳවත් බොහෝ සංවේදී වී තිබීම විශේෂ කරුණකි.
නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය නිවේදනයක් යොමුකරමින් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් තවම පැන නැගී නොමැති බවයි. එම නිවේදනය පහතින්.

ඉහත නිවේදනය අනුව ඔවුන් කියා සිටින්නේ රෝගය වැලැක්වීමට පහත ක්‍රියා මාර්ග පිළිපදින ලෙසයි.
- අත් නිතර සබන් යොදා සේදීමෙන් හෝ (ඇල්කොහොල් හෑන්ඩ් රබ්) භාවිතයෙන් පිරිසිදු කරන්න.
- කහින විට හෝ කිවිසුම් යන විට අතේ වැලමිට ප්‍රදේශය පාවිච්චි කර මුඛය සහ නාසය ආවරණය කරගන්න. නැතිනම් tissue පාවිච්චි කර ඒවා ආරක්ෂිතව අපහරණය කරන්න.
- ඔබ පසුගිය සති දෙක ඇතුළත පිට රටකට ගොස් පැමිණියේ නම්, උණ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී ඇත්නම් වහාම වෛද්‍ය අවධානය සඳහා යොමු වන්න. ඔබගේ ගමන් විස්තර වෛද්‍යවරයා සමග පවසන්න
එහෙත් කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි කියා සිටියේ කොළඹට ඇතුළු වීමේදී මුඛ ආවරණ යොදා ගැනීම වඩාත් යෝග්‍ය බවයි.
මේ අතර මුඛ ආවරණ පැළඳිය යුතු ක්‍රමය සම්බන්දයෙන් සමාජ ජාල තුළ ආන්දෝලනාත්මක තත්වයක් උද්ගත වී තිබෙනවා. එහි දැක්වෙන තොරතුරු අනුව මුඛ ආවරණයයේ නිල් පාට පැත්ත සහ සුදු පාට පැත්ත මුඛය දෙසට ද එළියට ද යන්න රෝගී තත්වය අනුව තීරණය වනවා ද යන්න පිළිබඳ කතිකාවක් ඇති වී තිබෙනවා. අන්තර්ජාලයේ දැක්වෙන වීඩියෝවක් ඊට මූලික වී ඇති බවයි වාර්තා වෙන්නෙ.
නමුත් මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අදහස් දක්වමින් කියා සිටින්නේ මුඛ ආවරණයේ වර්ණවත් පැත්ත පිටතටත් සුදු වර්ණයෙන් යුතු පැත්ත මුඛ්‍ය දෙසටත් සිටින සේ පැළඳීම නිවැරදි ක්‍රමය බවයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් මේ සම්බන්ධයෙන් කිසිඳු නිල දැනුම් දීමක් මෙතෙක් සිදුකර නැත. ජාත්‍යන්තර පිළිගත් මාධ්‍ය ද මේ සම්බන්ධයෙන් තොරතුරු පළ කර නැත. කෙසේ වෙතත් මුඛ ආවරණ පැළඳිය යුත්තේ මුඛ ආවරණය සමග ලබාදෙන උපදෙස් පත්‍රිකාවේ සඳහන් ආකාරයට පමණක් බව මේ සම්බන්ධයෙන් ෆේස්බුක් හී අදහස් පළ කර ඇති ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් ප්‍රකාශ කර සිටිනවා. ඒවායේ සඳහන් වන්නේ පැළදිය යුතු එක් ක්‍රමයක් පමණක් බවත් රෝගී වී ඇති බව හෝ රෝගී වී නැති බව මත පළඳින ආකාරය වෙනස් විය යුතු නැති බවයි ඔවුන් පවසන්නේ.

