ඉන්දීය රජයේ වැඩි කොටස් හිමිකාරීත්වයක් ඇති එරට ජාතික ගුවන් සේවය අධික පාඩු ලැබීමේ හේතුවෙන් විකුණා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව තම ජාතික ගුවන් සේවය වන එයාර් ඉන්දියා ගුවන් සේවයේ සිය මුළු කොටස් ප්‍රමාණයම විකුණන බවට ඉන්දීය රජය කළ නිවේදනය ගැනුම්කරුවන් සඳහා වඩාත් ආකර්ෂණීය යෝජනාවක් ලෙස සැලකෙන බව විදෙස් මාධ්‍ය කියා සිටී.
මේ සම්බන්ධයෙන් උනන්දුව ප්‍රකාශ කිරීමට ආරාධනා කරන ලියවිල්ලක් ජනවාරි 27 වන සඳුදා ඉන්දීය රජය විසින් නිකුත් කර තිබේ. එහෙත් ඉදිරිපත්වන ඕනෑම ලංසුකරුවකුට වෙනත් වගකීම් සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 3.2 ක් පමණ වන එම ගුවන් සමාගමට ණය ප්‍රමාණය ද ලබා ගැනීමට සිදුවනු ඇතැයි එහි සඳහන් වේ.
මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ ගුවන් සමාගමේ කොටස් විකිණීමේ උත්සාහය ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට අසමත් වී වසරකට වඩා වැඩි කාලයක් ගතවීමෙන් පසුව වීම ද විශේෂත්වයකි.
දශකයක් තුළ වාර්තා වූ මන්දගාමී ම ආර්ථික වර්ධන වේගය හමුවේ පාඩු ලබන සමාගම් අක්‍රීය කර ආර්ථිකය වැඩිදියුණු කිරීමට උත්සාහ කරන ඉන්දියානු රජයේ ආර්ථික න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස එයාර් ඉන්දියා විකුණා දැමීමට තීරණය කර තිබුණි. එහෙත් එයාර් ඉන්දියා සමාගම, ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට අසමත් වී තිබේ.
වසර ගණනාවක් තිස්සේ එයාර් ඉන්දියා සමාගම විසින් ඉහළ ගුවන් යානා ඉන්ධන මිල ගණන්, ඉහළ ගුවන් තොටුපල භාවිත ගාස්තු, අඩු වියදම් ගුවන් යානා වලින් තරඟ කිරීම පිලිබඳ චෝදනා කරමින් සිටි අතර ඉන්දීය රුපියල දුර්වල වීම මෙන්ම සමාගමේ දුර්වල මූල්‍ය කාර්ය සාධනය හේතුවෙන් විශාල ලෙස පාඩු ලැබීමට ලක්ව තිබේ.
නව තීරණයේ ප්‍රධාන වෙනස්කම වී ඇත්තේ එය ගුවන් සමාගමේ 100% ක කොටස් විකිණීම සඳහා යෝජනා කිරීමයි. 2018 දී, ඉන්දියාව විසින් ඉදිරිපත් කළේ ව්‍යාපාරයේ 76% ක කොටස් ප්‍රමාණයක් පමණි. මෙය ගැනුම්කරුවන් අධෛර්යමත් කළ සාධකයක් ලෙස සැලකේ.
එයාර් ඉන්දියා සමාගමේ හිමිකාරීත්වය යටතේ ගුවන් යානා 146ක් ඇති අතර එම සමාගම විසින් භාවිතා කරන මුළු ගුවන් යානා සමූහයෙන් 56% ක් හිමිකරගෙන ඇත. කුලී පදනම මත හා ගිවිසුම් මත අත්කරගෙන ඇති ගුවන් යානා ප්‍රමාණය 44%ක් පමණි.
එයා ඉන්දියා ගුවන් සමාගම සතුව විශාල ණය බරක් ඇති අතර මුළු වගකීම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 8 ඉක්මවන බව වාර්තා වේ.
එයාර් ඉන්දියා සමාගමේ සේවක සංඛ්‍යාව 14,000 ඉක්මයි. ගැනුම්කරුවන්ට එය විශාල අභියෝගයක් වී ඇති බවත් සේවක සංගම් දේශපාලනීකරණයට ලක්වී තිබීම හේතුවෙන් එය කළමණාකරණය කිරීම අභියෝගාත්මක වී ඇති බවත් ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥයින් ප්‍රකාශ කර සිටී.
මේ වන විට ලොව පුරා ඇති බොහෝ ගුවන් සේවා සමාගම් පාඩු ලැබීමේ තත්වයක් යටතේ පවත්වාගෙන යනු ලබයි. රජයන් සතු ගුවන් සමාගම් කිහිපයක් හැරුණුකොට අන් සියල්ලම පාඩු ලබන සේවාවන් බවට පත් වී තිබේ. එවැනි තත්වයක් තුළ වර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් ඇති රටවල් ගුවන් සේවාවන් පවත්වා ගැනීම නොකළ යුතු තත්වයක් දක්වා එම තත්වය වර්ධනය වී ඇති බව ආර්ථික විද්‍යාඥයින්ගේ මතයයි.

