,
Foreign

ඇෆ්ගනිස්ථානයට කඩා වැටී ඇත්තේ ඇමරිකානු මිලිටරි ගුවන් යානයක්

එක්සත් ජනපද හමුදාවට අයත් මිලිටරි ගුවන් යානයක් ජනවාරි 27 සඳුදා නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේදී කඩා වැටී තිබේ. ඒ බව ඇමරිකානු හමුදාව තහවුරු කර තිබේ.

ඇමරිකානු හමුදාවේ කර්නල් සොනී ලෙගට් පැවසුවේ “අනතුරට හේතුව විමර්ශනය කරමින් පවතින අතර, සතුරන්ගේ ප්‍රහාරයකින් ඇතිවූ ගින්නෙන් අනතුර සිදුවූ බවට කිසිදු සාක්ෂියක් නොමැත” යනුවෙනි.

මෙම ගුවන් යානය කඩා වැටුණේ ඇෆ්ගනිස්ථානයේ ගස්නි පළාතේ දෙහක් දිස්ත්‍රික්කයේ ය. එය ශක්තිමත් තලේබාන් පාලන කලාපයකි.

යානයේ කී දෙනෙක් සිටියාද යන්න මෙතෙක් නිවේදනය කර නැත.

තලේබාන් සමාජ මාධ්‍ය ගිණුම් වල එක්සත් ජනපද ගුවන් හමුදාවේ සලකුණු සහිතව පිළිස්සුණු ගුවන් යානයක් පෙන්වුවද එය මෙතෙක් කිසිඳු බලධාරියෙකු විසින් තහවුරු කර නැත.

වීඩියෝවේ දැක්වෙන්නේ බොම්බාර්ඩියර් ඊ -11 ඒ – දරන ඇෆ්ගනිස්ථානය හරහා විද්‍යුත් නිරීක්ෂණ සඳහා එක්සත් ජනපද ගුවන් හමුදාව භාවිතා කරන ජෙට් වර්ගයේ යානයකි.

හඳුනා නොගත් ගුවන් යානයක් අනතුරකට (ජනවාරි 27 වාර්තාව)

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ගස්නි පළාතේ ගුවන් යානයක් කඩා වැටී ඇති බවට ඇෆ්ගනිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.

ජනවාරි 27 සඳුදා දින මෙම අනතුර සිදුව තිබේ. මුලින් වාර්තා කළ තොරතුරු අනුව අනතුරට ලක්වූයේ ඇෆ්ගන් රජය සතු ආරියානා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් බව වාර්තා වුව ද ඇෆ්ගනිස්ථාන අරියානා ගුවන් සේවය එම වාර්තා නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.

“ගුවන් අනතුරක් සිදුවී ඇති නමුත් එය අරියානා සමාගමට අයත් යානයක් නොවේ. අද අරියානා විසින් හෙරාත් සිට කාබුල් දක්වාත්, හේරත් සිට දිල්ලිය දක්වාත් ගුවන් ගමන් දෙකක් සැළසුම් කර තිබූ අතර ඒවා ආරක්ෂිතව අදාළ ගමනාන්තයන් වෙත ගොස් තිබේ” යනුවෙන් එම ගුවන් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී මිර්වායිස් මිර්සාක්වාල් රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

මීට පෙර, ඇෆ්ගනිස්ථාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු කියා සිටියේ, ජනවාරි 27 සඳුදා එරට වේලාවෙන් පස්වරු 1: 10 ට (GMT 08.40) ගස්නි පළාතේ ඩෙහ් යක් දිස්ත්‍රික්කයේ සාඩෝ කෙල් ප්‍රදේශයේදී ඇෆ්ගන් රජය සතු ගුවන් යානයක් කඩා වැටී ඇති බවයි. ගුවන්යානය හරාත් සිට ගස්නි බලා යමින් සිටියදී අනතුරට ලක්ව ඇති බව පළාතේ නිල ආරංචි මාර්ග මීට පෙර සඳහන් කර තිබුණි. කෙසේ වෙතත්, අරියානා එයාර්ලයින්ස් සිය වෙබ් අඩවියේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සිය ගුවන් යානා සියල්ලම ක්‍රියාකාරී සහ ආරක්ෂිත බවයි.

ගුවන් යානය කඩා වැටී තිබෙන්නේ තලේබාන් පාලනය යටතේ පවතින ප්‍රදේශයකදී බව ටෝලෝ පුවත් සේවය වාර්තා කරයි. ගස්නි පළාත කඳුකර ස්වාභාවයක් සහිත ප්‍රදේශයක් වන අතර හින්දු කුෂ් කඳු පාමුල පිහිටා ඇත. මෙම කාලයේ දී එම පළාත ශීත ඍතුව පවතින අතර තද සීතලක් ඇති ප්‍රදේශයක් වන බව විදෙස් මාධ්‍ය කියා සිටී.

Photo Aljazeera

මෙම තත්වය තුළ යානයේ සිටි පුද්ගලයින්ගේ සංඛ්‍යාව සහ ඔවුන්ගේ ඉරණම මෙතෙක් තහවුරු කර ගත නොහැකි වී තිබේ.

ඇෆ්ගනිස්ථානයේ අවසන් වරට සිදු වූ විශාලතම වාණිජ ගුවන් අනතුර වන්නේ 2005 දී බටහිර හේරත් සිට ඇෆ්ගන් අගනුවර වන කාබුල් දක්වා ගමන් කරමින් තිබූ කෑම් ගුවන් යානය අනතුරට ලක්වීම වන අතර එය හිම සහිත කාලගුණයක් පවතින අවස්ථාවක ක්ෂණික ගොඩබෑමට උත්සාහ කිරීමේදී කඳුකරයට කඩා වැටී අනතුරට පත්ව තිබේ.

කෙසේවෙතත්, 19 වසරක සිට පවතින යුධමය තත්වය තුළ මිලිටරි ගුවන් යානා සම්බන්ධ මාරාන්තික අනතුරු ගණනාවක් සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Rivira Ads
To Top