,
Entertainment

කථානායක කරූගේ සාහිත්‍ය පාඩම: කවි දෙක පොතට දමා සාහිත්‍ය රස විදින සමාජයක් හදන්න බෑ

පාසල් පෙළ පොතට‍ කවි පන්තියක් දෙකක් ඇතුළත් කිරිමෙන් පමණක් සාහිත්‍ය රස විදින සමාජයක් බිහි කළ නොහැකි බව කථානායක කරු ජයසුරිය පවසනවා.

කථානායකවරයා මේ බව සදහන් කළේ ජනවාරි 26 වන ඉරිදා දෙහිවල ඇස්.ද.ඇස් ජයසිංහ ශ්‍රවණාගාරයේ පැවති අගනුවර තරුණ කවි සමාජයේ 85 වන සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

එහිදී අදහස් දැක්වූ කතානායකවරයා කියා සිටියේ “දවස පුරාම ටියුෂන් තරඟයෙන් පිඩාවට පත්ව ලැබෙන සුළු විවේකය පවා ජංගම දුරකථනය සමඟ ගත කරන අනාගත පරම්පරාව, සංවේදී සාහිත්‍ය රසවින්දයක් සහිත පිරුණු මිනිසුන් බවට පත් කිරිම පාසල් පෙළ පොත්වලට කවි පන්තියක් දෙකක් ඇතුළත් කිරිමෙන් පමණක් කළ නොහැකි” බවයි. ඒ පිළිබඳව අවධානය යොමු කිරිමට පාලකයන්ට ගුරු දෙගුරුන්ට කාලය එළඹ ඇති බවද කථානායක කරු ජයසුරිය අවධාරණය කළේය.

දරුවන්ගේ මනසෙහි සාහිත්‍යයට ඇති ඉඩකඩ උදුරාගෙන ඇත්තේ, නිමක් නොමැති තරඟයකට පැ‍ටලී සිටින වැඩිහිටියන් විසින් බවද ඔහු පෙන්වා දුන්නේය.

අගනුවර තරුණ කවි සමාජයේ 85 වන සමරු සංවත්සරය අමතමින් කථානායකවරයා මෙසේද පැවසීය.

“වෙළඳපළ විසින් හසුරුවන මිනිසුන් හැමෝම ඉතාම සංකීර්ණ හීන පිටිපස්සේ, එකිනෙකා පරාජය කිරිම සඳහා තරඟෙට දුවන නිදහසක්, විවේකයක් නැති සමාජයක කවි උරුමය ආරක්ෂා කිරිමේ අභියෝගය භාරගත් අ.ත.ක.ස.යේ ආරාධනාවෙන් මෙහි පැමිණීමට හැකි වීම විශාල යුතුකමක් කියලා මම හිතනවා.

මම අම්මාගේ නැළවිලි ගීතයේ ඉඳලාම කවිය රසවිඳපු පරම්පරාව නියෝජනය කරනවා කියලා මා හිතනවා. අපේ ගම්වල ඒ කාලේ ගොයම් කවි, අඬහැර මහ රාත්‍රීයේ පැට්ට්‍රල් මැක්ස් පත්තු කරගෙන ගොයම් පාගන කමත්වලින් ඇහෙන කමත් කවි අහන්න ලැබුණා.

අලුත් අස්වැන්න නෙළාගත්තට පස්සේ කමත් භුමියේ නටපු ගම්මඩුවෙන් ඇහිච්ච කවිවල මොන තරම් ආශිර්වාදයක්, සතුටක් ශුංගාරයක් තිබුණද කියලා හිතාගන්නත් අමාරුයි.

මඟුල් ගෙදරක උබයකුල ඥාතීන්ගේ විස්තර කිව්වේ, අළුත් යුවලට අවවාද අනුශාසනා දුන්නේ, කවියෙන්.

හැම මළ ගෙදරකම වගේ ඒ කාලේ තාලෙට වෙස්සන්තර ජාතකය ගායනා කළා. ඒ වගේම මිය ගිය පුද්ගලයාගේ ගුණ කථනය ගායනා කළේත් කවියෙන්. ඒ කවියන්ට ගමේ කාගෙත් පිළිගැනීමක් තිබුණා. ඔවුන් බොහොම ඇසු පිරූතැන් තිබුණූ මිනිස්සු.

කිසිම මුදලකට විකිණුනේ නැති, කිසිම පොතක ලියැවුණේ නැති, ඔවුන්ගේ කවි මොනතරම් ප්‍රභල සමාජ මෙහෙවරක් සිදුකළාද කියලා ආපසු හැරිලා බලනකොට පේනවා.

වෙහෙස, පාලුව කාන්සිය මකලා දැම්මා. මිනිසුන් එකිනෙකා අතර ගෞරවය, සහජීවනය ගොඩනැගුවා. බොහොම අහිංසක සතුටකින් මිනිසුන්ගේ ජීවිත නිවා දැමුවා.

පන්සලෙන් ඇහිච්ච කවි බණ විශාල ධර්මාවබෝධයක්, ආගමික භක්තියක් ඇති කළා. සමාජය තිගැස්සෙන ඇතැම් සිදුවීම් කවි කොළ විදියට බස් එකේ කෝච්චියේ විකුණලා ඒවායිනුත් අයහපත් දේවල්වල ආදීනව ජනතාවට කියා දුන්නා.

මට හිතෙනවා අද සමාජයේ සිද්ධ වෙන අදහා ගන්න බැරි අපරාධ ගැන කවි කොළ ගහලා විකුණූවොත් බස් එකේ ඉන්න මඟින්ට වැඩිය කවි කොළ විකුණන අය බස්වල ඉඳී කියලා.

අප මුහුණ දීලා තිබෙන සමාජ පරිහානිය මෙයින් පිළිබිඹු වෙනවා. ඒ කාලේ කවිය අයහපතට යොදාගත් අවස්ථා නොතිබුණා නොවේ.වස් කවි, ඉඳහිට ඇලවෙන කැළැ පත්තරයක් තිබුණා. හැබැයි අද කාලේ වගේ සංවිධානත්මක සාපරාධි චරිත ඝාතන නෙවෙයි.

ඒ කාලේ කැළැ පත්තරවලට වඩා වර්තමානයේ ඇතැම් ප්‍රධාන පත්තරවලින් කරන චරිත ඝාතන සාහසිකයි කියලා මට හිතෙන්නේ. කවියෙන් සමාජයට කරපු සේවය අපේ සංස්කෘතිය පෝෂණය කරපු තරම අධ්‍යාපනයට, ආගමට, ජාතික චින්තනයට කරපු සේවය සමාන කරන්න බැරි තරම්.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න කා‍ලේ එස් මහින්ද හාමුරුවන්ගේ, කුමාරතුංග මුණිදාසන්ගේ, පි.බී.අල්විස් පෙරේරා, කේ.ජයතිලකයන්ගේ, කවි වලින් විශාල ජාතික චින්තනයක් අපට ඇති කරන්න අපේ ගුරු දෙවිවරුන්ට හැකි වුණා.

ඊට පස්සේ කොළඹ යුගයේ සාගර පලන්සුරිය, මහගමසේකර, කපිල සෙනෙවිරත්න, මාකදුරේ ගුණවර්ධන, මීමන ප්‍රේමතිලක, උපනන්ද බටුගෙදර, චිත්‍රානන්ද අබේසේකර, නිහාල් අබේසුන්දර, දක්වාම කවි රසවින්ද මතකයක් මට තියෙනවා.

අ.ත.ක.ස.ය කරපු වටිනාම සේවය තමයි රටේ විවිධ තැන්වල හිටපු කවි සිතුවිලි පිරුණු සොදුරු මිනිසුන් එක තැනකට ගොනු කිරිම. කවියෙන් ඈත් වෙච්ච සමාජයක පරිකල්නය ගොඩ නැගෙන්නේ කොහොමද?ඔවුන් යම් දෙයක් ගැන චිත්තරූප මවන්නේ කොහොමද?ඔවුන් ජීවිතය රස විදින්නේ කොහොමද?ඒ සමාජයේ සහජීවනය ගොඩනැගෙන්නේ කොහොමද? යන ප්‍රශ්න රැසකට උත්තර දෙන්න පාසල් පෙළ පොතට කවි පන්තියක් දෙකක් ඇතුළත් කිරිමෙන් පමණක් පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.

ලාභය මත හඹා යන හරසුන් වැඩසටහන් රාශියක් ඉදිරිපත් කරන නුතන මාධ්‍යයෙන් ජාතියේ කවි සිත පෝෂණය කරන්න ඉටුවිය යුතු වගකීම ඉටුවෙලා නැහැ. ඊට වඩා කුණු රස පිරැණූ හඬපට රස විදින්න සලස්වන එක ඔවුන්ගේ න්‍යාය පත්‍රවල ඉදිරියෙන් තියෙනවා කියලා මට හිතෙනවා.

එවැනි සමාජ ක්‍රමයක අ.ත.ක.ස.යේ උත්සාහය උඩුගම් බලා පිහිනිමක යැ’යි විටෙක තමන් කල්පනා කළද උත්සව සභාවේ අසුන් ගෙන සිටින වියතුන් මෙන්ම පාසල් සිසු කවි කිවිඳියන් දුටුවිට හෙළ කවියේ අනාගතය අදුරු නොමැති බවට සුභවාදී බලාපොරොත්තු ජනිත වනවා” යැයි කතානායක කරු ජයසුරිය පැවසුවේය.

මෙහීදි කවි කිවිඳියන් වෙනුවෙන් කිවිපති, කාව්‍යශුරී, කාව්‍ය ශක්ති සම්මාන පිරිනැමුණු අතර නව පරපුරේ තරුණ කවි කිවිඳියන් සහ පාසල් කවි සමාජයන්හි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ද සම්මානයට පාත්‍ර වුහ.

කොහිලවත්තේ දැනියල් බොතේජු, සත් පියසේන, නන්දසේන පලිහක්කාර, ‍අජන්ත සෙනෙවිරත්න, හෙක්ටර් බෙත්මගේ, මහාචාර්ය මුදියන්සේ දිසානායක, මහාචාර්ය මංගල සේනානායක, කථිකාචාර්ය සමන් ලෙනින්, මාධ්‍යවේදී වසන්ති නානයක්කාර, ර‍මේෂ් උවයිස්, මාධ්‍යවේදී සුමුදු චතුරානි, මාධ්‍යවේදී වජිර ජයවර්ධන යන අය අ.ත.ක.ස.යේ විශේෂ සම්මානයට පාත්‍ර වූහ.

බස්නාහිර පළාත් සභාවේ හිටපු සභාපති හෙක්ටර් බෙත්මගේ, මහාචාර්ය මුදියන්සේ දිසානායක, මහාචාර්ය මංගල සේනානායක, ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරන කවි කිවිඳියන් සහ රසික රසිකාවියන් රැසක් ද සහභාගී වු මෙම උත්සවය අමතමින් කථානායකවරයා සඳහන් කළේ ජාතියේ කවි උරුමය ආරක්ෂා කිරිමට ජනමාධ්‍යයන්ටද සුවිශාල වගකීමක් ඇති බවයි.

Rivira Ads
To Top