චීන කොරෝනා-වෛරසය ආසාදිත වූ චීන ජාතික කාන්තාවක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙනවා. මේ වන විට එම මාරාන්තික කොරෝනා-වෛරසය වැළඳුණු සහ ශ්‍රී ලංකාවෙන් හමුවූ පළමු රෝගියා පිළිබඳ තවත් විස්තර අනාවරණය වී තිබෙනවා.
අදාළ චීන ජාතික කාන්තාව පිළිබඳ අදහස් දක්වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරන්නේ “සංචාරයක් සඳහා පැමිණි චීන ජාතික කාන්තාවක් ජනවාරි 27 දින කොළඹ IDH උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ පරික්ෂණවලට අනුව ඇයට කොරෝනා-වෛරස ආසාදනය වී ඇති බවත්” හඳුනාගෙන ඇති බවයි.
මීට අමතරව එම ආසාදිතයාගේ තත්වය පිළිබඳ ජානමය ස්වරූපය පරික්ෂා කිරීම සඳහා තවත් සාම්පලයක් විදේශ ගත කිරීමට සූදානම් කර ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටී. අදාළ කාන්තාව සංචාරකයෙක් වශයෙන් තවත් කණ්ඩායමක් සමඟ පැමිණ ඇති අතර සංචාරය අවසන් කර ගුවන්තොටුපළින් නික්ම යාමට සූදානම් වූ මොහොතේ උණ රෝගය ඇතිවීම නිසා ඇය මෙසේ රෝහල්ගත කර ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා අනාවරණය කළේය.
සංචාරය සඳහා පැමිණි අනෙක් චීන ජාතිකයින් සියලුදෙනාම චීනය බලා පිටත්ව ගොස් තිබේ. ඒ මෙන්ම මෙම චීන ජාතික කාන්තාව නාවාතැන් ගත් හෝටලය හඳුනාගෙන ඇති බව කියා සිටි වෛද්‍ය අනිල් ජාසිංහ පෙන්වා දුන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ප්‍රදේශිය වසන්ගත නිලධාරීන් එම ස්ථානයන් වෙත ගොස් අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි.
මේ අතර වෛරසය පිළිබඳ රජය නිකුත් කරන නිල තොරතුරු ලබා දෙන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය හරහා බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටී.
Breaking: ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු රෝගියා හමුවෙයි (ජනවාරි 27 රාත්‍රී 8ට පළ කළ වාර්තාව)

අයිඩීඑච් හී පිහිටි වසංගත රෝග ඒකකයට ඇතුළත් කළ අදාළ චීන ජාතික කාන්තාවගේ සාම්පල පිළිබඳ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතන විසින් පරීක්ෂාවට ලක් කර ඇති අතර මූලික පරීක්ෂණ වලදී එම රෝගය අසාදනය වී ඇති බව හෙළිදරව් වී තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ප්‍රකාශ කර සිටියා.
අදාළ කාන්තාව චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට පැමිණි අයෙකු වන අතර රෝග ලක්ෂණ හේතුවෙන් ජනවාරි 27 සඳුදා දින අයිඩීඑච් රෝහලට ඇතුළත් කර තිබිණි. ඇය වයස අවුරුදු 43ක කාන්තාවක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නැති බව අවධාරණය කළ අතර තත්වය පාලනය කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කර සිටී.
චීනයේ සිට පැමිණෙන පුද්ගලයින් සඳහා වෙනම පර්යන්තයක් භාවිතා කිරීමට පියවර
චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් වෙනම පර්යන්තයකින් ඇතුල් කර ගැනීමට හා ගුවන් තොටුපල කාර්ය මණ්ඩලය මුඛ ආවරණ භාවිතා කළ යුතු බවටත් උපදෙස් ලබා දී තිබෙනවා.
ජනවාරි 26 තෙක් ලංකාවට බලපෑමක් තිබුණේ නෑ
මීට පෙර කොරෝනා වෛරසය ආසාදිත බවට සැකකරමින් පුද්ගලයින් සිව්දෙනෙකු හා පසුව තවත් දෙදෙනෙකු අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය අසිත අත්තනායක ප්‍රකාශ කළේය.
ඒ අතර චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු හා මෙරට කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකු සිටි බව රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය. පළමු රෝගීන් දෙදෙනා ජනවාරි 25 දින රාත්‍රියේ රෝහලට ඇතුළත් කර තිබූ අතර අනෙක් රෝගීන් දෙදෙනා ජනවාරි 26 දින උදෑසන රෝහලට ඇතුළත් කර තිබේ.
එම රෝගීන්ට වැළඳී ඇත්තේ කොරෝනා වෛරසයද යන්න තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ගේ ජීව සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර තිබුණි.
එහෙත් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කෙරුණු පුද්ගලයින් සියලු දෙනාගේම සැක සහිත රුධිර සාම්පල පරීක්ෂාවේ දී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වූ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියා සිටියේ ය. අදාළ සාම්පල පිළිබඳ තවදුරටත් පරීක්ෂණ කරන බව ද වෛද්‍යවරයා පැවසුවේ ය.
ඒ අනුව ජනවාරි 26 තෙක් ශ්‍රී ලංකාවෙන් කිසිදු කොරෝනා-වෛරසය ආසාදිත රෝගියෙකු වාර්තා වී නොමැති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයා තහවුරු කළේ ය.
කොළඹට ඇතුලු වීමට පෙර මුඛ ආවරණයක් පළඳින්නැයි දැනුම් දීමක්
කොරෝනා-වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම මහජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පැළඳීම වඩාත් සුදුසු බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි දන්වා සිටියේ ය.
කොළඹ නගරයේ පොදු ස්ථාන, හෝටල් සහ ආපනශාලාවලට ඇතුලු වීමේ දී මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසත් කාර්යාල සේවකයින්, හෝටල් කාර්ය මණ්ඩලය හා සේවකයන්ට මුඛ ආවරණ පැළඳ සිටින ලෙසත් ඔහු වැඩිදුරටත් දන්වා සිටී.
වෛරසයෙන් බේරීම සඳහා අනුගමනය කළ යුතු පියවර ඇතුළත් ආපදා කළමණාකරණ මාධ්‍යස්ථානයේ නිවේදනය
නිවේදනයක් නිකුත් කරමින් අපදා කළමණාකරණ මධ්‍යස්ථානය නව කොරෝනා-වෛරසයේ රෝග ලක්ෂණ සහ එය ආසාදිත වීමෙන් වැළකීමට අනුගමනය කළ යුතු පියවර සඳහන් කර තිබෙනවා. එම නිවේදනය පහතින්.
මාරාන්තික නව කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ලෙස උණ, කැස්ස, සෙම්ප‍්‍රතිෂ්‍යාව, හුස්ම ගැනිමේ අපහසුතාව, දියර ලෙස මලපහ පිටවීම, හිසරදය, උගුරේ වේදනාව සහ ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත. එසේම නව කොරෝනා වෛරසය ආසාධනය වුවහොත් නිව්මෝනියාව, හුස්ම ගැනීමේ අපසහුව සහ වකුගඩු අක්‍රියවීම වැනි දරුණු වර්ධනය වී ආසාධිත පුද්ගලයින් ජීවිතක්ෂයට පත් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. මේ නිසා විශ්ෂයෙන් ඉහත සදහන් කර ඇති රෝගී තත්වයක් මතු වුවහොත් වහාම වෛද්‍යවරයෙකු වෙත ගොස් පරීක්ෂා කරගැනීමට ක්‍රියා කළ යුතු වේ.
නව කොරෝනා වෛරසය ආසාදනය වළක්වා ගැනීම සදහා ආසාදිත පුද්ගලයින් ඇසුරු කිරීමෙන් අනතරුව, ආහාර සැකසීමේ දී, වැසිකිළි යාමෙන් පසු, ආහාර ගැනීමට පෙර, සුරතල් සතුන් හෝ සත්ව මළපහ ඇල්ලීමෙන් පසු හෝ දෑත් අපිරිසිදු යැයි ඔබට හැගී යන සෑම අවස්ථාවකම සබන් හෝ විෂබීජ නාශක ද්‍රව්‍ය භාවිත කර අත් සේදීම, කැස්ස ඇති විට සහ කිවිසුම් යාමේ දී ලේන්සුවක් හෝ ටිෂූ භාවිත කිරීමටත් ලේන්සුවක් හෝ ටිෂූ නොමැති නම් වැලමිට ඇතුළ පැත්ත භාවිත කිරීම හෝ අතේ ඉහළ බාහු කොටස භාවිතා කිරීමත් එමෙන්ම භාවිත කළ ටිෂූ නිසි ලෙස කසළ බඳුන් වෙත බැහැර කිරීමට කටයුතු කළ යුතුය. ඔබට කැස්ස ඇතිවිට හෝ කිවිසුමක් යාමේ දී එය වළක්වා ගැනීමට අත්ල භාවිතා නොකිරීමට කටයුතු කළ යුතු බවත් වෛද්‍ය උපදේස් වල සදහන් වේ.
නව කොරෝනා වෛරස් අවදානමෙන් වැළකීම සදහා උණ සහ සෙම්ප‍්‍රතිෂ්‍යාව වැළදුනු පුද්ගලයින් සමග සමීපව ඇසුරු කිරීමෙන් වළකින ලෙසත් ඔවුන් ඇසුරු කිරීමට සිදු වන්නේ නම් ඇස්, නාසය, මුඛය ඇල්ලීමෙන් වැළකී සිටින ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති උපදෙස් වල සදහන් වේ.
එමෙන්ම ආහාර සඳහා පිළියෙළ කර ගන්නා මාංශ සහ බිත්තර හොදින් පිස ගැනීමෙන් පසු ආහාරයට ගැනීම, සත්ව ගොවිපොළවල හෝ ඒ ආශ්‍රිත රැකියා කටයුතු සිදු කිරීමේ දී මුඛ ආවරණ පැළදීම සහ අත් ආවරණ පැළදීම වැනි ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උපදේස් ලබා දී ඇත. ඔබ සත්ව ගොවිපොළක හෝ ඒ ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලිය තුළ රැකියාවක නිරත වන්නේ නම් ඉහත ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිපැදීමට ක්‍රියා කළ යුතු වේ. එසේම රාජකාරි කටයුතු වලින් අනතුරුව සෑම අසවස්ථාවක දීම සබන් හෝ විෂබීජ නාශක ද්‍රව්‍ය භාවිත කර අත් සේදීම හෝ ශරීරය පිරිසිදු කර ගැනීම කටයුතු කිරීම කොරෝනා වෛරස් අවදානමෙන් වැළකීම සදහා ඉතා වැදගත් වේ.
නව කොරෝනා වෛරස් අවදානමෙන් මිදීම සදහා ආරක්ෂිත උපදෙස් පිළිපැදීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාවට ප්‍රබල බලපෑමක් විය හැකියි

2018 මහ බැංකු වාර්තාව අනුව ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණෙන්නේ ඉන්දියාවෙන් සහ චීනයෙන් ය. ඊට අමතරව ශ්‍රී ලංකාවේ විවිධ සංවර්ධන ව්‍යපෘති හේතුවෙන් ශ්‍රී ලංකාවේ සේවය කරන චීන ජාතිකයින් විශාල පිරිසක් සිටින අතර ඔවුන් සැළකිය යුතු ලෙස චීනය හා ශ්‍රී ලංකාව අතර සංචාරය කරනු ලබයි.
මේ තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව එම වෛරසයට නිරාවරණය වීමේ ඉහළ ඉඩකඩක් පවතින බව සඳහන් විය. මුල් සමයේ සිටම වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්ගේ ඉහළ අවධානයක් යොමු වී තිබුණි.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඩී.ආර්. පෙරේරා සඳහන් කරන්නේ උණ රෝගීන් පරීක්ෂා කෙරෙන යන්ත්‍ර ස්ථාපිත කර ඇති බවයි. ඊට අමතරව ගුවන්තොටුපළ සියලුම කාර්ය මණ්ඩල මෙම රෝගීන් හඳුනාගැනීම සඳහා දැනුවත් කර තිබෙන බව ද ඔහු මීට පෙර ප්‍රකාශ කළා.
ගුවන්තොටුපළේ දී මෙවැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් හඳුනාගතහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්වලට අනුකූලව යමින් වහාම ඔවුන් අන් පුද්ගලයන්ගෙන් හුදකලා කරමින් පරීක්ෂකාවට ලක්කොට ඔවුන්ව අංගොඩ වසන්ගත රෝග මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කෙරෙන බව ද ගුවන්තොටුපළ වෛද්‍ය අංශය සඳහන් කරයි.
මෙම පුවත නවතම තොරතුරු සමඟ යාවත්කාලීන කරනු ලබන බව කරුණාවෙන් සළකන්න. එයින් මෙම පුවතට අදාළ සියලු තොරතුරු එකම දිගුවක් ඔස්සේ කියවීමට අවස්ථාව හිමි වේ.

