,
News

චීනයේ සිට පැමිණි ලාංකික සිසුන් විශේෂ නිරෝධායන ක්‍රියාවලියකින් පසු නිවෙස් වෙත

චීනයේ චෙන්ඩු නගරයේ වෙසෙන මෙරට සිසුන් 60 දෙනෙකුට ආසන්න පිරිසක් ජනවාරි 28 අඟහරුවාදා පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටී.

විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම්, විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ සඳහන් කළේ, ජනවාරි 28 අඟහරුවාදා පස්වරු 5.30ට චෙන්ඩුහි සිට මෙරටට පැමිණෙන එයාර් චයිනා ගුවන් සේවයට අයත් යානායකින් ඔවුන් මෙරටට පැමිණීමට නියමිත අතර චෙන්ඩු නගරයේ රැඳි සිටින මෙරට සිසුන් 150 දෙනෙකු අතුරින් 60 දෙනෙකු එලෙස පැමිණෙන බවයි. සෙසු පිරිස ජනවාරි 30 පස්වරු 5.30 ට පැමිණීමට නියමිත බවද සඳහන් විය.

චීනයේ බීජිං, ෂැන්හායි සහ කැන්ටොන් ප්‍රදේශ වල සිටින මෙරට සිසුන් 100කට අධික පිරිසක් ද ජනවාරි 28 පෙරවරුවේ මෙරටට ළගා වීමට නියමිතව ඇතැයිද, ජනාධිපති අතිරේක ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර චීනයේ ටියැන්ජිංහි සිටි ලාංකික සිසුන් 21 දෙනෙක් ජනවාරි 27 සඳුදා රාත්‍රියේ දිවයිනට පැමිණි තිබූ අතර ඔවුන් විශේෂ නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමෙන් අනතුරුව නිවෙස් වෙත යොමු කිරීමට නියමිතයි.

චීනයේ සිට පැමිණෙන සිසුන් සියළු දෙනාම අදාළ විශේෂ නිරෝධායන ක්‍රියාවලියට ලක් කරන බව ද ජනාධිපති අතිරේක ලේකම්වරයා සඳහන් කරයි.

නමුත් දැනට පැමිණ ඇති සහ පැමිණීමට නියමිත සියළුම සිසුන් පැමිණෙන්නේ චීනයේ අඩු අවදානම් කලාප වලින් වන අතර වූහාන් නගරයේ සිටින සිසුන් ගෙන්වා ගැනීමට අදාළ කටයුතු සිදු කරමින් පවතින බවත් වාර්තා වේ. ඊට අදාළව ගුවන් යානයක් වූහාන් හී ගොඩ බෑමට අවශ්‍ය අවසරය මෙතෙක් ලැබී නැති බවද සඳහන්. එසේ ගෙන්වා ගන්නා සිසුන් සති දෙකක නිරෝධායන ක්‍රියාවලියටකට ලක් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව වූහාන් හා වෛරසය පැතිර ගිය නරගවල සිට පැමිණෙන සියළු දෙනා දින 14ක් දියතලාව හමුදා කඳවුරේ නේවාසිකව රඳවාගෙන නිරෝධායනය කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළාය.

සැක කෙරෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රට තුළ රෝහල් 12ක් සූදානම් කෙරේ

දැනට අයිඩීඑච් උණ රෝහලට රෝගීන් ඇතුළත් කළ ද තහවුරු නොකළ සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා තවත් රෝහල් 11ක් සූදානම් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. ඒ අනුව උතුරු කොළඹ ශික්ෂණ රෝහල (රාගම), ගම්පහ ශික්ෂණ රෝහල, මහනුරව ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කුරුණැගල ශික්ෂණ රෝහල, මඩකලපුව පළාත් රෝහල, බදුල්ල පළාත් රෝහල, රත්නපුර පළාත් රෝහල හා මීගමුව රෝහල යන රෝහල් සූදානම් කර තිබේ.

මීට අමතරව තොරතුරු දැන ගැනීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබෙනවා. 0710 107 107, 011 307 10 73 දුරකතන අංක විවෘතයි.

Rivira Ads
To Top