දේශීය පුවත්

චීනයෙන් සංචාරකයින් පැමිණීම එකහෙළා තහනම් කළ නොහැකියි

කොරෝනා-වෛරසය පැතිරීමත් සමග චීන සංචාරකයින්ට තහනමක් පනවන ලෙස රටවල් ගණනාවක පුරවැසියන් අදාළ රජයන්ගෙන් ඉල්ලීම් කර තිබෙනවා.

ලක්ෂ 3ක අත්සන් සහිතව මැලේසියානු පුරවැසියන් එරට රජය වෙත පෙත්සමක් ද ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. චීන සංචාරකයින් මැලේසියාවට ඇතුල්වීම වළක්වන්නේ නැති බවට මැලේසියානු අගමැති මහතීර් මොහොමඩ් ප්‍රකාශ කිරීමෙන් අනතුරු පුරවැසියන් මෙම පෙත්සම අත්සන් කර තිබෙනවා. නමුත් මැලේසියානු අගමැති කාර්යාලය ජනවාරි 27 පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ චීනයේ වෛරසයේ ආරම්භක ප්‍රාන්තය වන හුබෙයි ප්‍රාන්තයේ වූහාන් ඇතුළු නගර කිහිපයක වැසියන්ට මැලේසියාවේ සංචාරය කිරීමට සීමා පනවා ඇති බවයි. එහෙත් එය සම්පූර්ණ චීනයටම අදාළ නොවන බව කියා සිටියා.

ශ්‍රී ලංකාවේ ද සමාජ මාධ්‍ය තුළ චීන සංචාරකයින් පැමිණීම තහනම් කළ යුතු බවට මතයක් නිර්මාණය වී තිබෙනවා. ඇතැමුන් පවසන්නේ “චීන සංචාරකයින් ඇතුල් වීම තහනම් කිරීමට ආණ්ඩුවට කොන්දක් නැති” බවයි. තවත් පිරිසක් පවසන්නේ චීනය සතු ඉඩම් මෙරට පවතින බැවින් ඔවුන් ඇතුල් වීම වැළැක්විය නොහැකි බවයි.

නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා රජයේ ප්‍රකාශකයෙකු පැවසුවේ රටකින් සංචාරකයින් පැමිණීම තහනම් කළ හැක්කේ සීමිත අවස්ථාවලදී පමණක් බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝකය පුරා හෝ කලාපය පුරා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කළහොත් එලෙස සංචාරක තහනමක් පැනවිය හැකි බව උදාහරණයක් වශයෙන් ඔහු සඳහන් කළා. මෙතෙක් කිසිඳු රටක් චීනයට එරෙහිව සංචාරක තහනමක් දමා නැති බව ද ඔහු පෙන්වා දුන්නා.

නමුත් ශ්‍රී ලංකා රජය ඇතුළු රටවල් රැසක් මේ වන විට චීනය සම්බන්ධයෙන් අන්තර්ජාලයෙන් වීසා ලබා ගැනීම සහ පැමිණි පසු වීසා ලබා දීමේ (On Arrival Visa) ක්‍රමවේදය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ද ඔහු සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා රජය ද රෝගය පාලනය කිරීම සඳහා විශේෂ පියවර රැසක් ගෙන තිබෙන බව ඔහු සදහන් කළා. ඒ අතර හුබෙයි ප්‍රාන්තයේ සිට පැමිණෙන සියලු දෙනා දින 14ක කාලයක් දියතලාව හමුදා කඳවුරේ නේවාසිකව නවතාගෙන අවේක්ෂණයට හා නිරෝධායනයට ලක් කිරීමටත් තීරණය කර ඇති බව ඔහු සඳහන් කලා. එය ගත හැකි විශිෂ්ට හා ඉතාමත් ඉහළ මට්ටමේ ක්‍රියාමාර්ගයක් බව ඔහු සඳහන් කළා.

නමුත් වෛරසයේ වර්ධනය හා පැතිරීම මත ඉදිරියේ දී අවශ්‍ය තීරණ ගන්නා බවත් රටේ ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබා දී කටයුතු කර ඇති බවත් ඔහු සඳහන් කළා. එමෙන්ම එම වෛරසය ආසාදිතයින් ලොව දියුණුතම රටවල් ලෙස සැළකෙන ඇමරිකාව, ප්‍රංශය හා එංගලන්තය වැනි රටවලින්ද වාර්තා වී ඇති බව ඔහු පෙන්වා දුන්නා. එම රටවල චීන ජාතිකයින් ශ්‍රී ලංකාවේ මෙන් 10 ගුණයකට වඩා සිටින බවත් ඔවුන් ද චීනය හා එම රටවල් අතර සංචාරය කර ඇති බවත් ඔහු සඳහන් කළා. එහෙත් එම රටවල්වත් චීනයට එරෙහිව සංචාරක තහනමක් පනවා නැති බව ද ඔහු පෙන්වා දුන්නා.

Rivira FB Group Rivira Youtube
To Top