දේශීය පුවත්

නීතිඥවරුන් අඩු කිරීම ගැන තියෙන මතයට මට එකඟ වෙන්න බෑ – අධිකරණය ඇමති

ශ්‍රී ලංකාවේ නීතිඥවරුන් ප්‍රමාණය සීමා කළ යුතු බවට නීති විද්‍යාලයේ ඇතිව තිබෙන අලුත් මතයට තමන් කිසිසේත් එකඟ නොවන බව අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය, නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ලග්ගල අධිකරණ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ජනවාරි 27 සඳුදා පස්වරුවේ සහභාගිවෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ නීතිඥ වෘත්තිය එක පංතියකට පමණක් සීමා කළ යුතු නැති බවයි.

විවෘත කරන ලද ලග්ගල අධිකරණ ගොඩනැගිල්ල ඉදි කිරීම සදහා රුපියල් මිලියන 709 ක් වැය කර තිබේ. එම ගොඩනැගිල්ල සියළු පහසුකම්වලින් සමන්විත බව අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

විවෘත කිරීමෙන් පසු උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අපරාධ ක්ෂේත්‍රයේ යම් අඩුවීමක් තිබුණද හෙරොයින් හා සම්බන්ධ නඩු වැඩිව තිබෙන බවයි. එබැවින් ඒ පිළිබදව වැඩි අවධානය යොමු කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එහිදී අමාත්‍යවරයා සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්.

“මේ අධිකරණය විවෘත වන්නේ මහවැලි ව්‍යාපාරය ආශ්‍රිතවයි. මොරගහකන්ද ව්‍යාපාරය තුළින් මේ ප්‍රදේශයේ කරන ලද සංවර්ධනයක ප්‍රතිඵලයක් වශයෙන් වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් මා කටයුතු කරනු ලබන අවධියේදී මුලික වීමෙන් මේ ව්‍යාපාරය එදා ආරම්භ කළා.

අද මටම මෙය විවෘත කිරීමට ලැබීම යම් දෛවෝපගත සිද්ධියක් හැටියට මා විශ්වාස කරනවා.මහෙස්ත්‍රාත් අධිකරණයක් වන මෙහි ශ්‍රේෂ්ඨාධිකරණයක් තුළ පවතින ඉඩ කඩ සහිත මනරම් පරිසරයක් සහිත වට පිටාවක් මෙම අධිකරණය තුළ තිබෙනවා.මේ අධිකරණ සංකිර්ණය ඉදි කිරීමෙන් ජනතාවට පහසුකම් ලබා දුන්නා වගේම මේ අධිකරණ සංකීර්ණයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත්තේ නැති නම් මේ තිබෙන සම්පත් අපි අවභාවිතා කළා වෙනවා.

මේ තරම් ලස්සන අධිකරණ සංකීර්ණයක් ඉදි කරලා සතියකට දවසක් නඩු අහන එක එතරම් අර්ථාන්විත නැහැ.දැන් අධිකරණවල තදබදයක් තිබෙනවා.නඩු විශාල සංඛ්‍යාවක් ගොඩ ගැහිලා තිබෙනවා.

ඒ නිසා නඩු මේ අධිකරණයටත් යොමු කරලා අවශ්‍ය වැඩ පිළිවෙළ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ගනු ඇතැයි අපේක්ෂා කරනවා.අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිලධාරීන්ට මේ අධිකරණය බලන්න එන ලෙස ආරාධනා කරන්න ඕන. මේ අධිකරණයේ අවට මනරම් පරිසරයක් නැති නම් වැඩක් නැහැ.ඒ නිසා මේ අධිකරණයේ අවට පරිසරය ආරක්ෂා කර ගත යුතුයි.ග්‍රාමීය ප්‍රදේශවල මෙවැනි අධිකරණ සංකීර්ණ ඉදි කිරීම තුළින් යුක්තිය පසිදලීම ජනතාව ළගටම ගෙන යාම අපේ බලාපොරොත්තුවයි.

විනිශ්චයකාරතුමන්ලාට, නීතිඥවරුන්ට මෙන්ම නඩුකරයක් සදහා පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් සළසා දීම අපේ යුතුකමක්. ඒ වගේම මෙවැනි ආයෝජන ගෙන එන්නේ ඒ යුතුකම ඉටු කිරීමක් වශයෙන්. ඒ නිසා උපරිම ප්‍රයෝජන ගැනීමට ජනතාව යොමු වෙන්න ඕනේ.

නීති ප්‍රතිසංස්කරණය පිළිබදව අපේ අමාත්‍යාංශයට විශාල වගකීමක් තිබෙනවා.අද අපේ අධිකරණ පද්ධතිය පිළිබදව සළකා බැලුවහොත් විශාල සංඛ්‍යාවක් දික්කසාද සම්බන්ධ නඩු අධිකරණයට එනවා. විවාහක යුවලකට බලෙන් විවාහ වෙලා ඉන්න කියලා බලකිරීමක් කරන්න පුළුවන් කමක් නැහැ.

ඒ අංශ පිළිබදව වර්තමාන සමාජ ප්‍රවණතාවයන් අනුව ලිහිල් වු ක්‍රමයක් අපි කල්පනා කළ යුතුයි. ඒ සදහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ කළ යුතුයි. ඒ වගේම අපි දැනටමත් අධිකරණ භූමිවල තිබෙන නඩු භාණ්ඩ අපහරණය කිරීම පිළිබදව වඩා සැලකිල්ලක් දක්වලා ඒ සදහා දැනටමත් අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් එවන ලද චක්‍ර ලේඛයක් අනුව වැලි ගල් ඒ වගේම දැව වාහන වැනි දේවල් අධිකරණ භූමිය තුළ ගොඩ ගහලා තියන්නේ නැතිව ඒවා යම් ආකාරයකින් ඡායාරූප ගත කරලා සංයුක්ත තැටිවලට ඇතුළත් කරලා යම් ආකාරයකින් අපහරණය කිරීමේ ක්‍රමවේදයක් සදහා අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් එවන ලද චක්‍ර ලේඛය අනුව ක්‍රියාත්මක කරන්නත් අවශ්‍යයි.

ඒ සදහා අවශ්‍ය කැමරා 100 ක් ගෙන්වීමට කටයුතු කර තිබෙනවා. ඒ නිසා අධිකරණ භුමිවල තිබෙන නඩු භාණ්ඩ ඒ ආකාරයට අපහරණය කර අධිකරණ භූමි වඩාත් පරිසර හිතකාමි තත්වයට පත් වෙයි කියලා මම විශ්වාස කරනවා.”

මෙහිදී නීති විද්‍යාලයේ ඇති මතයක් පිළිබඳව ද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

“දැන් නීති විද්‍යාලයේ අලුත් මතයක් ඇති වෙමින් යනවා නීතිඥවරුන් සීමා කළ යුතුයි කියලා. ඒකට මම නම් එකග නැහැ. මොකද මේ නීතිඥ වෘත්තිය එක පංතියකට පමණක් සීමා කළ යුතු නැහැ. ඒ වෘත්තිය වඩාත් පුළුල් කළ යුතු වෙනවා.

මේ වගේ අධිකරණ, පළාත්වල අධිකරණ වටා නීතිඥයින් එකතු වෙලා තමන්ගේ නඩු ප්‍රමාණය බෙදා ගෙන කටයුතු කරන්න පුළුවන්. අලුතින් බිහිවන නීතිඥයින්ට මේ වගේ අධිකරණ තුළින් තමන්ගේ මුලික අත්දැකීම් ටික ලබා ගන්න පුළුවන්. නීතිඥ වෘත්තියේ ආදායම් මාර්ගවල බෙදීමක් ඇති කළ යුතුයි.

නිති විද්‍යාලයට ඇතුළුවීම පිළිබදව දැනට ඇති ගැටළු සාකච්ඡා කරලා යම් තිරසාර විසදුමක් ළගදීම ලබා දෙනවා. නීතිඥයින් වෙනුවෙන් අද පරිපාලන ක්ෂේත්‍රයේ රාජ්‍ය ක්ෂේත්‍රයේ විශාල රැකියා ප්‍රමාණයක් විවෘත වෙලා තිබෙනවා. නිතිඥ දැනුම සහිත පරිපාලකයින් අද රටට අවශ්‍යයි.

ඒ නිසා නීති විද්‍යාලය, විවෘත විශ්ව විද්‍යාලයේ නීති පීඨය වඩාත් පුළුල් විය යුතු කාලයක් මිසක් එය වසා දැමිය යුතු කාලයක් නොවෙයි. ඇති වන නුතන සමාජ අවශ්‍යතාවයන් අනුව නීති රීති ඇති විය යුතු වෙනවා.

ඉස්සර නම් මිනී මැරුම් නඩු විශාල වශයෙන් තිබුණා. නමුත් දැන් ඒ නඩු අඩුයි. අද හොරොයින් පාවිච්චි කිරීම සීයට එක සිය පනහකින් පමණ වැඩි වෙලා තියෙනවා. අපේ බන්ධනාගාරවල රිමාන්ඩ් බන්ධනාගාරවල ඉන්න විශාල ප්‍රමාණයක් හෙරොයින් භාවිතය හෝ විකිණිම සිදු කළ අයයි. අපරාධ ක්ෂේත්‍රයේ යම් අඩුවීමක් තිබුණත් හෙරොයින් භාවිතය කිරීමේ නඩු වැඩි වෙලා තිබෙනවා.

අපේ අවධානය ඒ පිළිබදව යොමු විය යුතුයි. නඩු ප්‍රමාදය අවම කිරීමේදී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ලබා ගැනීමේදී නීතිපතිතුමාගේ උපදෙස් ලබා ගැනීමට, විශේෂයෙන් පොලීසිය බොහෝ අවස්ථාවලදී නීපතිතුමාගේ උපදෙස් ලබා ගන්න යාමේදී ඇතැම් අවස්ථාවල වසර දෙක තුනක් යනවා.

ඒ නිසාත් නඩු කල් යනවා. දැන් පුරාවිද්‍යා සම්බන්ධ නඩු වලදී එම වාර්තා නොමැතිව නඩු කල් යනවා. නීතිපති දෙපාර්තමේන්තුව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා වැනි අංශ සියල්ලම නීතිය ප්‍රමාදවීම වැළැක්වීම සදහා අවශ්‍ය සහාය ලබා දිය යුතුයි.

දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සදහා 36 දෙනෙකු බදවා ගැනීමට අනුමැතිය ලබාදීලා තිබෙනවා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පරීක්ෂණ වාර්තා ලබා දෙන්න අපහසු නම් විශ්ව විද්‍යාල වල සහාය හෝ ලබා ගෙන පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට හැකි වන ආකාරයට නීතිමය ප්‍රතිපාදන ඇති කළ යුතුයි.

අධිකරණ පද්ධතියට අපි කරනු ලබන දැවැන්ත ආයෝජනයෙන් පමණක් නඩු ප්‍රමාදය අවම කරන්න බැහැ. තවත් අංශ ගණනාවක සහාය අවශ්‍යයි. නඩු ප්‍රමාදය අවම කර ගැනීම සදහා අපේ සමථ මණ්ඩල ක්‍රමවත්ව ශක්තිමත් කළ යුතුයි”

Rivira FB Group Rivira Youtube
To Top