,
News

වෛරසයට බිය වී ලංකාව හා චීනය සම්බන්ධ ව්‍යාපෘතිවලට අදාළ රැස්වීම් කිහිපයක්ම අවලංගු කරලා!

ශ්‍රී ලංකාව තුළ චීනය සම්බන්ධ වී සිදු කරනු ලබන ව්‍යාපෘති බොහොමයක් සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම් බොහොමයක් අවලංගු කර ඇති බව ආරංචි මාර්ග කියා සිටී.

කොරෝනා වෛරසයේ පැතිරී යාමත් සමග අමාත්‍යවරුන්, නිලධාරීන් ඇතුළු බොහෝ දෙනෙකු එම රැස්වීම්වලදී සහභාගී වීමට නොහැකි බව දන්වා තිබීම හේතුවෙන් මෙලෙස අදාළ රැස්වීම් අවලංගු කර ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙම තත්වය රාජ්‍ය ආයතනවලට සීමා නොවුන තත්වයක් බවත් පෞද්ගලික ආයතන ද චීන ජාතිකයින් සමග පැවැත්වීමට නියමිතව තිබූ බොහෝ රැස්වීම් ප්‍රමාණයක් අවලංගු කර ඇතැයි ද වාර්තා වේ.

මෙම තත්වය හේතුවෙන් මෙරට ව්‍යාපෘති සහ ව්‍යාපාරික කටයුතුවලට පැමිණ සිටින චීන ජාතිකයින් අපහසුතාවයට පත්ව ඇති බවත් ආරංචි මාර්ග කියා සිටී. මෙම තත්වය තුළ ඇතැම් රැස්වීම් චීන ජාතිකයින් විසින්ම අවලංගු කර ඇති අවස්ථාවද වාර්තා වී තිබේ.

මීට අමතරව මෙරට සංචාරය කරන චීන, ජපන් ඇතුළු නැගෙනහිර ආසියානු කලාපයේ සංචාරකයින් ශ්‍රී ලංකාව තුළ අපහසුතාවයට ලක්ව ඇති බවටත් තොරතුරු වාර්තා වේ. පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට චීන පෙනුමැති පුද්ගලයෙකු පැමිණි විට අනෙක් මගීන් ඊට එරෙහි වන බවත් වාර්තා වේ.

එලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බසයකට චීන ජාතිකයෙකු බව කියන පුද්ගලයෙකු ගොඩ වී ඇති බවත් ඔහු ඉන් ඉවත්වීම ප්‍රතික්ෂේප කර ඇති බවත් පසුව සියලු මගීන් බස් රථයෙන් බැස ඇති බවත් වාර්තා වේ. ඒ හේතුවෙන් එම රථයේ රියදුරු හා කොන්දොස්තර දැඩි අපහසුතාවයට පත්ව ඇත. එවැනිම සිදුවීම් මහනුවර, බදුල්ල බස්වලින්ද වාර්තා වී ඇත.

මෙම තත්වය චීන ජාතිකයින්ට අමතරව ජපන් ඇතුළු එවැනි පෙනුමක් ඇති සියලු දෙනාට බලපෑම් කර ඇති බව ද වාර්තා වේ. ඇතැමුන් පාස්පෝට් පෙන්වා තමන් චීන ජාතිකයින් නොවන බව පෙන්වා ඇති බවත් වාර්තා අතර සඳහන්. එහෙත් ගමන් ගත් මගීන් එය තැකීමකට ලක් කර නොමැති වීම කණගාටුවට කරුණක් වූ බව එම බස්රථවල රියදුරුවරුන් කියා සිටියා.

Rivira Ads
To Top