,
News

මෙරට ඇති තවත් ඉස්ලාම් විශ්ව විද්‍යාලයක් ගැන හෙළිවෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති විමර්ශන කොමිසම ජනවාරි 28 දින සාක්ෂි ලබා ගැනීම සඳහා සාක්ෂිකරුවන් කැඳවා තිබුණා.

ජනවාරි 28 එම කොමිසම හමුවේ පෙනී සිටියේ මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා පොලිසියට භාරදෙන බව පවසා තිබූ මොහොමඩ් සාලී මොහොමඩ් තාසීම් නම් මවුලවී වරයෙකි.

ඔහුගෙන් කොමිසම කළ ප්‍රශ්න කිරීම් අතර එක් ප්‍රශ්නයක් ලෙස විමසා සිටියේ එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා ප්‍රමුඛ හීරා පදනම විසින් ඉදිකර තිබෙන මඩකලපුව ඉස්ලාම් විශ්ව විද්‍යාලය වැනි තවත් ඉස්ලාම් විශ්ව විද්‍යාලයක් තිබෙනවා ද යන්නයි. එහිදී මව්ලවීවරයා කියා සිටියේ බේරුවල ප්‍රදේශයේත් එවැන්නක් ඇති බවයි.

සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ උපලේකම් ධුරයක් දරන අදාළ මව්ලවීවරයා ජමියතුල් උලමා සංවිධානයේ ද සාමාජිකයෙකි. කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු කොමිසමට ප්‍රකාශ කළේ තමන් මහරගම පමුණුව පාරේ පිහිටි ගෆූරියා අරාබි පාසලෙන් අරාබි භාෂාව වසර 7ක් පමණ ඉගෙනගෙන පසුව සෞදි අරාබියට ගොස් එහි විශ්ව විද්‍යාලයකින්ද තවත් වසර 3ක් අරාබි භාෂාව හදාරා ඇති බවයි.

එලෙස අරාබි භාෂාව ඉගෙනගැනීමෙන් පසු ලංකාවට පැමිණ සෙයිලාද් නම් මුස්ලිම් තරුණ සංගමයේ සාමාජිකත්වය ලබාගත් බවත් එම සංගමය හරහා සමාජ සේවා කටයුතුවල නිරත වූ බවත් කියා සිටියා.

ඔහු එලෙස සාමාජිකත්වය ලබාගත් සංවිධානයට මුදල් ලැබෙන්නේ කෙසේ දැයි කොමිසම එහිදී විමසූ අතර ඊට පිළිතුරු දෙමින් මව්ලවීවරයා පැවසුවේ දේශීය වශයෙන් අල්හාජ් රමේෂ් සහ අල්හාජ් රිස්වි යන අය මුදල් ලබාදුන් බවත් සෞදිය, කුවේටය සහ ඩුබායි යන රටවලින්ද මුදල් ආධාර ලැබුණු බවත් තමන් දන්නා බවයි.

ඉන් අනතුරුව කොමිසම මව්ලවීවරයාගෙන් විමසා සිටියේ ජමියතුල් උලමා සංවිධානය රට පුරා අරාබි පාසල් පිහිටුවා තිබෙනවාද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් මවුලවීවරයා සඳහන් කළේ මක්තබ්, අහදියා හෙවත් ඉරිදා දහම් පාසල් සහ සහ ජාමියා හෙවත් මද්‍රසා ලෙස කාණ්ඩ ගත කොට පාසල් පිහිටුවා ඇති බවයි. එමෙන්ම කොමිසමේ තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මව්ලවීවරයා හෙළිදරව් කර සිටියේ රට තුළ මද්‍රසා පාසල් 215ක් ඇති බවයි.

වැඩිදුරටත් මව්ලවීවරයාගෙන් ප්‍රශ්න කළ කොමිසම විමසා සිටියේ එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉදිකළේ කුමක්ද යන්නයි. ඊට පිළිතුරු දුන් මව්ලවීවරයා කියා සිටියේ එය ජාමියා හෙවත් විශ්ව විද්‍යාලයක් බවයි.

මෙරට ඇත්තේ එම ඉස්ලාම් විශ්ව විද්‍යාලය පමණද යන්න පිළිබඳ කොමිසම ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මවුලවීවරයා ප්‍රකාශ කර ඇත්තේ තවත් එවැනි විශ්ව විද්‍යාලයක් බේරුවල ප්‍රදේශයේ ඉදිකර ඇති බවයි. එය ජාමීයා නලීමියා හජ්ජියාර් නමින් හඳුන්වන අතර එහි මවුලවීවරුන් පුහුණු කිරීම සඳහා ඉස්ලාම් ආගම උගන්වන බව මවුලවීවරයා අනාවරණය කර තිබෙනවා. ඊට මුදල් ලබා දී ඇත්තේ නලීමියා ජාමියා නැමැත්තෙක් බවද කොමිසම හමුවේ අනාවරණය විය.

මෙවැනි මද්‍රසා, අහදියා සහ ජාමීයා නමින් පාසල් ආරම්භ කිරීමට නම් ඒ පිළිබඳ ජමියතුල් උලමා සංවිධානය දැනුවත් කළ යුතු බවද මවුලවීවරයා පෙන්වා දුන්නේය.
අනතුරුව කොමිසම විමසුවේ අරාබි පාසල් ලියාපදිංචි කිරීමට පෙර මුස්ලිම් දෙපාර්තමේන්තුවෙන් විමසනවාද යන්නයි. එහිදී මවුලවිවරයා පැවසුවේ ජමියතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා ඉදිරි දිනක කොමිසම වෙත පැමිණ පිළිතුරු ලබා දෙනු ඇති බවයි.

අනතුරුව කොමිසම විමසුවේ මද්‍රසා පාසල්වල විෂය නිර්දේශය සකසන්නේ කවුරුන්ද යන්න පිළිබඳවයි. ඊට පිළිතුරු දුන් මවුලවීවරයා පැවසුවේ එක් එක් මුස්ලිම් පාසල් ඒ ඒ අයට අවශ්‍ය ලෙස විෂය නිර්දේශය සකස් කරන අතර එම විෂය නිර්දේශ ජමියතුල් උලමා සංවිධාන සාමාජිකයින්ගෙන්ද සමන්විත කමිටුවක් මගින් අධීක්ෂණය කෙරෙන බවයි.

ඒ අනුව විදෙස් පුද්ගලයින් පැමිණ මෙරට මද්‍රසා පාසල්වල දේශනා පැවැත්වූ බව පිළිගන්නේදැයි කොමිසම ඇසූ විට මවුලවීවරයා ලබාදුන්නේ ඔව්,එය විය හැකියි යන්නයි.

ඊජිප්තු තානාපති කාර්යාලය හරහා මෙරටට පැමිණෙන පුද්ගලයින් දරුවන්ට කුරාණය පිළිබඳ සහ අරාබි භාෂා දැනුම ලබාදෙන බවත්, තමන්ද එලෙස අධ්‍යාපනය හදාරා තිබෙන බවත් මවුලවිවරයා එහිදී පැවසුවේය.

එහිදී කොමිසම යළි විමසුවේ ඔබ වැනි අය විදේශයන්ට ගොස් අරාබි භාෂාව හදාරා යළි පැමිණ සිටියදී විදේශිකයින් මෙරටට ගෙන්වන්නේ ඇයිද යන්නයි. ඊට පිළිතුරු දුන් මව්ලවීවරයා පැවසුවේ තමන්ට සියයට සියයක් අරාබි භාෂාව ඉගැන්වීම හැකියාවක් නැති බවයි.

ඒ අනුව මෙම ප්‍රශ්න කිරීම් හමුවේ විශාල හෙළිදරව්වක් සිදු විය. ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොදැන සිටියද මෙරට තුළ මුස්ලිම් විශ්ව විද්‍යාලයක් පවත්වාගෙන යන බව හෙළිදරව් වී තිබේ.

Rivira Ads
To Top