දේශපාලන

එජාපය උණුසුම්, ෆොන්සේකා, අජිත්, ඉමිතියාස්, රෝසි කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් හලයි

හිටපු කැබිනට් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හා හිටපු කැබිනට් නොවන අමාත්‍ය කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා, එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.

මීට අමතරව හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර්, කොළඹ පුරපති රෝසි සේනානායක යන අයද ඇතුළු 4 දෙනෙකු කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂයේ සාමූහික විනය කඩ කිරීමේ චෝදනාව මත යැයි දැනගන්නට තිබේ.

ජනවාරි 30 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 3ට කැඳවීමට නියමිත එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉහත කිසිවෙකුට ආරාධනා නොකිරීමෙන් හේතුවෙන් මේ වන විටත් එජාපය තුළ උණුසුම් තත්වයක් ඇති වී තිබෙන බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්‍යේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල නිල කාලය 2019 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වී තිබේ. ඒ අනුව නව සාමාජිකයින් පත් කර ඇති අතර ඔවුන් සහභාගී වන පළමු කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ජනවාරි 30 සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිතයි.

නව කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයින් පත් කිරීමක් සිදුවූවාදැයි එජාප මහලේකම් අකිල් විරාජ් කාරියවසම්ගෙන් ජනවාරි 29 පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ කිහිප දෙනෙකු හැර එහි සිටි අයම පත් කර ඇති බවයි. එහෙත් පත් නොකරන ලද්දේ කිනම් අයවදැයි කියා සිටියේ නැත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ, රනිල් වික්‍රමසිංහ තම නායකත්වය රැක ගැනීම වෙනුවෙන් අවසන් සටන දියත් කර ඇති බවයි. ඒ තමන්ට එරෙහිව ප්‍රසිද්ධ මාධ්‍ය තුළ ප්‍රකාශ නිකුත් කරන මන්ත්‍රීන්ට එරෙහිව ඉදිරියේදී තවත් ක්‍රියාමාර්ග ගනු ඇති බව ඔවුන් අපේක්ෂා කරනවා.

සජිත් පිල වර්ජනය

එජාප ආරංචි මාර්ග පැවසුවේ අදාළ සාමාජිකයින් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනවාරි 30 පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී විමසා සිටීමට නියමිත බවයි. එහෙත් මේ වන විට වාර්තා වන්නේ විපක්ෂ නායක ඇතුළු ඔහුට සහය දක්වන 35 දෙනෙකු එම රැස්වීම වර්ජනය කිරීමට තීරණය කර ඇති බවයි.

Rivira FB Group Rivira Youtube
To Top