,
News

ඇවන්ට්ගාඩ් නිශ්ශංකට එරෙහිව චෝදනා 882ක් සහිත අධිචෝදනා නැවතත්

ඇවන්ට්ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනෙකුට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව විසින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

ජනාධිපති අතිරේක ලේකම්, රජයේ අධිනීතිඥ, නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී නිශාරා ජයරත්න, ජනවාරි 30 වැනිදා මේ බව ප්‍රකාශ කළාය. නව අධිචෝදනා පත්‍රයේ ගිනි අවි සහ ජීව උණ්ඩ නීති විරෝධීව ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා 882ක් සහිත බවයි ඇය සඳහන් කළේ.

මීට පෙර ශ්‍රී ලංකාව වටා මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ දී සිදුවූ වැරදි ඇතුළු චෝදනා 7573ක් යටතේ නීතිපතිවරයා විසින් නිශ්ශංක සේනාධිපති ඇතුලු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහි නඩුවට විත්තිකරුවන්ගේ පාර්ශවයෙන් ඉදිරිපත් වූ මූලික විරෝධතාවක් සැලකිල්ලට ගනිමින් එම නඩුවේ චෝදනා 19ක් හැර සෙසු චෝදනා පවත්වාගෙනයාමට නොහැකි බවට ජනවාරි 17 දින ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරන විනිසුරු මඬුල්ල තීරණය කළේය.

ඒ අනුව එම නඩුවෙන් චෝදනා ලැබ සිටි පාලිත ප්‍රනාන්දු, විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.බී. එගොඩවෙල, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න නමැති විත්තිකරුවන් පස්දෙනා සියලුම චෝදනාවලින් නිදහස් කළ විනිසුරු මඬුල්ල සෙසු විත්තිකරුවන් 8දෙනාට එරෙහිව නඩුව නැවතත් පෙබරවාරි 10 වැනිදා සිට විභාග කිරීමට තීරණය කර තිබුණි.

ධම්මික ගනේපොළ, මංජුල තිලකරත්න සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරුවන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් මෙම නියෝගය ලබා දෙන ලදී.

Rivira Ads
To Top