දේශපාලන

එජාප ප්‍රබලයින් ඉවත් කර කෘත්‍යාධිකාරිය කැඳවමින් ගත් තීරණ මෙන්න

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් 35ක් පමණ ජනවාරි 30 පැවති කෘත්‍යාධිකාරි මණ්ඩලයට සහභාගී නොවන බවට ආරංචි මාර්ග පැවසුවට විපක්ෂනායක ඇතුළු 16 දෙනෙකු පමණක් ඊට සහභාගී වී නැති බව වාර්තා වේ.

සිරිකොත මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසුවේ 16 දෙනෙකු පමණක් රැස්වීමට සහභාගී නොවූ බව හා 37 දෙනෙකු ඊට සහභාගී වූ බවයි.

එහිදී කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවත් කළ පිරිස් ගැන මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මහලේකම්වරයා කියා සිටියේ කිසිවෙකු කමිටුවෙන් ඉවත් කර නැති බවයි. ඔවුන්ගේ ධූර කාලය අවසන් වූ පසු මණ්ඩලයේ සිටි 68 දෙනෙකුගෙන් 59 දෙනෙකු නැවතත් පත් කර ඇති බව ඔහු සඳහන් කළා. තවත් කිහිප දෙනෙකු ඊට පත් විමට නියමිත බවද ඔහු සඳහන් කළා.

අජිත් පී. පෙරේරා ඉවත් කිරීමක් සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මහලේකම්වරයා කියා සිටියේ ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක බවත් පසුගිය කණ්ඩායම් රැස්වීමේ හැසිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙනුත් ඔහු නැවත පත් කර නැති බවයි.

සරත් ෆොන්සේකා සම්බන්ධයෙන්ද බොහෝ දෙනෙකුගෙන් චෝදනා එල්ල වී තිබෙන බව “ඔහු ඉවත් කිරීම” සම්බන්ධයෙන් පැහැදිලි කරමින් මහලේකම් අකිල විරාජ් කාරියවසම් සඳහන් කළා.

මීට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් හා පළාත් පාලන මන්ත්‍රීන් වෙනුවෙනුත් පළාත් සභා මන්ත්‍රීන් වෙනුවෙනුත් නියෝජිතයින් නම් කර එවූ පසු ඔවුන්ව ද කෘත්‍යාධිකාරි මණ්ඩලයට නම් කරන බව මහලේකම්වරයා සඳහන් කළා.

රැස්වීමේ දී ගත් තීරණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහලේකම්වරයා කියා සිටියේ සජිත් ප්‍රේමදාසට හිතවත් පිරිසගේ ඉල්ලීමක් වූ අගමැති අපේක්ෂකත්වය සහ ගොඩනැගෙන සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබා දීමට තීරණය කළ බවයි. ඒ බව විපක්ෂ නායකවරයාට දැනුම් දීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කලා.

කිසිවෙකු ඉවත් කර නැති බව මහලේකම්වරයා සඳහන් කළ ද නැවත පත් නොකිරීම හේතුවෙන් සරත් ෆොන්සේකා සහ අජිත් පී. පෙරේරා යන මන්ත්‍රීවරුන් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තවදුරටත් නොමැති බව තහවුරු වී තිබෙනවා.

ඉමිතියාස් බාකිර් මාකර් හා රෝසි සේනානායක නැවත පත්වන්නේ ද යන්න තහවුරු කර ගත හැක්කේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් හා පළාත් පාලන මන්ත්‍රී කණ්ඩායමෙන් පත්වන නියෝජිතයින් පත් කිරීමෙන් අනතුරුවයි.

සම්බන්ධිත පුවත්
එජාපය උණුසුම්, ෆොන්සේකා, අජිත්, ඉමිතියාස්, රෝසි කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් හලයි

Rivira FB Group Rivira Youtube
To Top