දේශීය පුවත්

හොරණ දී හසුවූ කුඩු කිලෝ 192 ජාවාරම මධූෂ් බන්ධනාගාරයේ සිට මෙහෙයවලා!

හෙරොයින් නැමැති මත්ද්‍රව්‍ය සහ ගිනි අවි 10ක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය විසින් හොරණ, බණ්ඩාරගම ප්‍රදේශයේ දී
ජනවාරි 30 උදෑසන අත්අඩංගුවට ගෙන තිබුණි.

බස්නාහිර උතුර විශේෂ විමර්ශන ඒකකයේ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ඩුබායි හී දී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ආ පසු රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදූෂ්ගේ මෙහෙය වීමෙන් මෙම මහා පරිමාණ හෙරොයින් ජාවාරම සිදුකර ඇති බවයි.

පොලීසිය සඳහන් කළේ රහසිගත තොරතුරක් ලෙස ලබාදුන් තොරතුරු අනුව එහි සඳහන් වී තිබුණේ ඇරැව්වල ප්‍රදේශයේ දියමන්ති කොල්ලයට අදාළව දැනට බන්ධනාගාර ගත කර සිටින කැලුම් ඉන්දික නැමැත්තාගේ මත්කුඩු බණ්ඩාරගම ගැලණිගම හරහා යතුරු පැදියකින් ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටින බවයි. එය කාන්තාවක් විසින් ධාවනය කිරීමට නියමිත බවද පෑලියගොඩ විමර්ශන ඒකකයට තොරතුරෙ හි සඳහන් ව තිබූ බව පොලීසිය කියා සිටියා.

ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අදාළ කාන්තාව තොරතුරේ සඳහන් ස්ථානයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සිදුකළ පරීක්ෂාවේදී එම කාන්තාවගේ යතුරු පැදියේ තිබී මත්කුඩු කිලෝ ග්‍රෑම් 15ක් ද සොයාගෙන තිබේ.

සැකකාරියගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී තවත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලීසියට හැකි වී තිබෙනවා. ඒ අනුව ගැලනිගම නිව්සිටි වත්ත නැමැති ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක එම කාන්තාව පසුගිය වසරේ සැප්තැම්බර් මස 15 දින සිට පදිංචිව සිට ඇති අතර එය කැවුමා නැමැත්තා විසින් ලබා දී ඇති නිවසක් බව ද හෙළි වී තිබෙනවා. එම කාන්තාව ඉහත කී දියමන්ති කොල්ලය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තුසිත මදුරංග හෙවත් මාතර මල්ලී නැමැත්තාගේ බිරිඳ බවත් හෙළි වී තිබෙනවා. තුසිත මදුරංග අත්අඩංගුවට පත්වීමෙන් පසු බන්ධනාගාරතව සිටි කැවුමා විසින් තුසිතගේ බිරිඳට අදාළ කුලී නිවස ලබා දී ඇතැයි ද හෙළි වී තිබෙනවා.

මත්කුඩු සමග අත්අඩංගුවට ගත් කාන්තාවගෙන් ලද තොරතුරු මත කුලී නිවස වැටලූ අවස්ථාවේ පොලිසිය විසින් එහි කාමරයක තිබූ විශාල ගමන් මලු කිහිපයක් සොයාගෙන ඇති අතර එහි තවත් හෙරෝයින් කිලෝ ග්‍රෑම් 177ක් තිබී සොයාගෙන තිබෙනවා. ඒ අනුව එම නිවසේ සිටි තවත් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ 26 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ ඔහුගේ පෙම්වතිය බව කියන 23 හැවිරිදි කාන්තාවක්. අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා අත්අඩංගුවට ගත් 27 හැවිරිදි කාන්තාවගේ සහෝදරයා වන බව ද හෙළි වී තිබෙනවා.

මෙහිදී විදෙස් රටවල නිෂ්පාදිත මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල ගිනි අවි 10ක් හා උණ්ඩ රහිත මැගසින් 19ක් ද සොයාගත් බව පොලීසිය සඳහන් කළා.

මෙම හෙරොයින් තොගය මාකඳුරේ මධූෂ් විසින් මෙරටට ගෙන්වූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 400කින් ඉතිරි වූ හෙරෝයින් කිලෝ ගෑම් 192ක් බව පොලීසිය සැක කරනවා. මීට පෙර අත්අඩංගුවට ගත් කිලෝ ග්‍රෑම් 200 එහි අනෙක් කොටස බවයි පොලීසිය සඳහන් කළේ. ලොරි රථයකින් ජනවාරි 28 වන දින මෙම හෙරොයින් තොගය එම නිවසට ගෙන ආ බව පොලීසිය සැක කරනවා.

මේ සොයාගැනීමත් සමග බන්ධනාගාරගතව සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම තවමත් සිදුවන බවට සැකයක් මතුව තිබෙනවා. බන්ධනාගාරය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සුරක්ෂිත නිවාසයක් වී ඇත්දැයි යන ප්‍රශ්නය නැවතත් රට හමුවට ඉදිරිපත්ව තිබෙනවා. කෙසේ වෙතත් එම ජාවාරම් මෙලෙස හසුවීම සුබදායී වුවත් එසේ හසු නොවන ජාවාරම් තවත් තිබෙන්නට හැකියාව ඇති බැවින් වහාම ඒ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය යුතුයි.

සම්බන්ධිත පුවත්
කුඩු කිලෝ 192යි, පිස්තෝල 10යි, මහා පරිමාණ කුඩු ජාවාරමුන් අත්අඩංගුවේ

Rivira FB Group Rivira Youtube
To Top