පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාව ජනවාරි 30 පස්වරුවේ රැස් වී තිබෙනවා. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් ඇතුළත්.
එහිදී පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කිරීමටත් එම තීරණය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමටත් තීරණය කර තිබේ.
පොදුජන එක්සත් පෙරමුණේ නායකයා ලෙස මෙතෙක් කටයුතු කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වන අතර ඔහුගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ රැස්වී පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ද විධායක සභාවේ අනුමැතිය ලබාගෙන ඇත.
ඒ අනුව 2020 මහමැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වීමටත් ඊට සහය දක්වන පක්ෂ ද ඇතුළත් කර සන්ධානයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ආරම්භ කිරීමට ද එහිදී තීරණය කර තිබේ.
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට සම-නායකයින් දෙදෙනෙකු පත් කිරීමට තීරණය කළ අතර ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ශ්‍රීලනිපය පාර්ශවයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත් වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.
මේ අතර සන්ධානයේ ප්‍රධාන තනතුරු බෙදී යන ආකාරය පිළිබඳ එකඟතාවයකට පැමිණ ඇති අතර සම-නායකයින් දෙපළට අමතරව සභාපති ධූරයක් ද පවතී. කෙසේ වෙතත් සභාපතිධූරය, මහලේකම්ධූරය, භාණ්ඩාගාරිකධූරය හා ජාතික සංවිධායකධූරය හිමිවන පුද්ගලයින් පිළිබඳ නිල තොරතුරු නිකුත් නොවූ අතර දේශපාලන ආරංචි පවසන පරිදි මහලේකම්ධූරය පිළිබඳ අවසන් එකඟතාවයකට පැමිණ නැත.

