දේශීය පුවත්

දින දෙකෙන් ගංජා කිලෝ 590ක් අල්ලයි

දින දෙකක් තුළ කේරල ගංජා කිලෝග්‍රෑම් 590කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උතුරු මුහුදේ දී සිදු කරන ලද මෙහෙයුම් තුළින් පැය 36ක් තුළ මෙම ගංජා තොගය සොයාගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශයට අනුව ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් 2020 ජනවාරි 01 වන දින සිට 2020 පෙබරවාරි 01 දක්වා දිවයින පුරා සිදු කරන ලද අති සාර්ථක මෙහෙයුම් මගින් මෙසේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 535කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනුව උතුරු නාවික විධානය මගින් කිලෝ 324 ග්‍රෑම් 822 කට ආසන්න ප්‍රමාණයක් ද, වයඹ නාවික විධානය මගින් කිලෝ 180 ග්‍රෑම් 660 කට ආසන්න ප්‍රමාණයක් ද , දකුණු නාවික විධානය මගින් කිලෝ 14 ග්‍රෑම් 903 කට ආසන්න ප්‍රමාණයක් ද, සෙසු නාවික විධානයන් මගින් කිලෝ 13 ග්‍රෑම් 757 කට ආසන්න ප්‍රමාණයක් ද වන ලෙස මෙම කේරළ ගංජා නාවික හමුදා භාරයට ගැනීමට සිය දායකත්වය ලබා දී ඇති බව කියා සිටී.

අත්අඩංගුවට ගත් කේරල ගංජා කිලෝග්‍රෑම් 324ක ප්‍රමාණය ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවක් තුළ සඟවා මෙරටට රැගෙන එමින් තිබිය දී අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් කෝටි තුනහමාරකට අධික බවට නාවික හමුදාව කියා සිටී. අදාළ ගංජා තොගය සමග පෙබරවාරි 2 වන ඉරිදා පුද්ගලයින් සිව් දෙනෙකු යාපනය, පුංකුතිව් මුහුදු කලාපයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියා සිටී.

2019 වර්ෂය තුලදී සිදු කරන ලද මෙවැනි දැවැන්ත සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා ටොන් 3.4 කට අධික ප්‍රමාණයක් සොයා ගැනිමට නාවික හමුදාව කටයුතු කර ඇත.

2020 වර්ෂය තුළ දී පමණක් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 43 දෙනෙකු නීතියේ රැහැනට හසු කර දීමට නාවික හමුදාව සමත් වී ඇති බව ද නාවික හමුදාව පෙන්වා දෙයි.

Rivira FB Group Rivira Youtube
To Top