දේශපාලන

මහමැතිවරණ බර කරට ගන්න බැසිල් දිවයිනට, ඡන්දෙට නොඑන ලකුණු

සොහොයුරන් දෙදෙනෙකු රටේ ජනධිපතිධූරයට පත් කිරීමට අවශ්‍ය සංවිධාන කටයුතු සිදුකළ මහමොලකරු, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණ තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපලෙන් පෙබරවාරි 3 උදෑසන ඔහු දිවයිනට පැමිණියේ ඇමරිකාවේ සිට බව ද වාර්තා වේ. ජනාධිපතිවරණ මෙහෙයුම අවසන් කර සති කිහිපයකින් විදෙස් ගත වූ දීර්ග නිවාඩුවකට පසු නැවතත් දිවයිනට පැමිණියේ එළැඹෙන 2020 පාර්ලිමේන්තු මහමැතිවරණය මෙහෙයවීමේ වගකීම බාරගැනීමට බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

2015 ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය වීම සම්බන්ධයෙන් වරෙක පක්ෂය තුළම ප්‍රබල ලෙස චෝදනාවට ලක්වූ බැසිල් රාජපක්ෂ, පක්ෂය ද අහිමි වී විපක්ෂයේ අසුන් ගෙන සිටි පිරිස වෙනුවෙන් අලුතින්ම පක්ෂයක් ආරම්භ කරමින් හා ඒ වටා දැවැන්ත ජාලයක් ගොඩනගමින් කෙටි කාලයක් තුළ 2018 දී පැවති පළාත් පාලන ඡන්ද විමසීමේ දී පළාත් පාලන ආයතන වලින් 80%කට වඩා ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඉන්පසු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවීමේ වගකීම බාරගනිමින් එම පක්ෂයේ ශක්තිය තවත් වැඩි කරමින් තවත් පක්ෂවල සහය ද ලබාගෙන ලක්ෂ 69ක වාර්තාගත ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ගෝඨාභය රාජපක්ෂ මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා කරවීමේ සම්පූර්ණ මැතිවරණ මෙහෙයුම සිදුකළේ ද බැසිල් රාජපක්ෂගේ ඍජු අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ ය.

නමුත් ජනාධිපතිවරණයෙන් පසු බැසිල් රාජපක්ෂ කෙටි කාලයක් ඇතුළත නිවාඩුවකට බව කියමින් ඇමරිකාව බලා පිටත්වුවද ඔහු වටා සිටින පුද්ගලයින්ගේ ප්‍රධාන ඉල්ලීමක් ඉෂ්ඨ කිරීම වෙනුවෙන් ඇමරිකාවට තිබූ බවට ද දේශපාලන ආරංචි මාර්ග සැක පළ කර සිටී. දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ එළැඹෙන මහමැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් නැවතත් තරඟ කර පාර්ලිමේන්තු පැමිණෙන ලෙස බොහෝ දෙනෙකුගෙන් ඉල්ලීම් ලැබී ඇති බවයි. ඒ අනුව එසේ තරඟ කිරීම සඳහා ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ කටයුතු සඳහා ඇමරිකාව බලා ගොස් තිබූ බව ඔවුන් සැක පළ කරනවා. එහෙත් මෙතෙක් පුරවැසිභාවය ඉවත් කරගත්තේද යන්න පිළිබඳ බැසිල් රාජපක්ෂ නිල ප්‍රකාශක් සිදු කර නොමැති වීම හේතුවෙන් බොහෝ දෙනෙකු තවමත් ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටී.

රජුන් තනමින් තිරය පිටුපස සිදුකරන භූමිකාවට වඩා පිටියට පැමිණ ඉදිරිපෙළ ක්‍රීඩා කරන ලෙස බැසිල් රාජපක්ෂට බොහෝ දෙනෙකු ආරාධනා කර ඇත. ඔවුන් පවසන්නේ නැවතත් අමාත්‍යධූරයක් ලබාගෙන ගෝඨාභය රට හදන ගමනට ශක්තියක් වන ලෙසයි. මහින්ද රාජපක්ෂ පාලන සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රැසක් සිදුකළේ බැසිල් රාජපක්ෂගේ මෙහෙය වීමෙනි. උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය යනු ඔහුගේ සැළසුම් වෙති.

ගෝඨාභය රාජපක්ෂ රජයට, බැසිල් රාජපක්ෂ වැනි ශක්තිමත් ඇමතිවරුන් සිටිය යුතු බව එම පක්ෂයේ ඉහළ පෙළේ සිට පහළම පෙළේ ක්‍රියාකාරීන් දක්වා විශ්වාස කරන තත්වයක් පවතී. බැසිල් රාජපක්ෂට හිතවත් ආරංචි මාර්ග කියා සිටියේ බැසිල් රාජපක්ෂ බොහෝ දුරට මහමැතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ ඇති බවයි.

එහෙත් කටුනායක ගුවන් තොටුපළින් එළියට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ජයග්‍රාහි ලකුණකින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන බවයි. එසේම මහමැතිවරණයට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් නැති බව ද බැසිල් රාජපක්ෂ කියා සිටියේය.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ නැවතත් දිවයිනට පැමිණ 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයේ දී 2/3 ලබාගැනීමේ මැතිවරණ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිත බව මීට පෙර පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කියා සිටියේය.

Rivira FB Group Rivira Youtube
To Top