දේශීය පුවත්

රට පුරා මාර්ග පද්ධතිය දැඩි ලෙස අබලන් වෙයි, වාහනවලටත් හානි

ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය අතීතයේ සිටම බොහෝ කාලයක් තිස්සේ අබලන්ව පැවති අතර 2005 තෙක් මාර්ග නිසි පරිදි තැනීම ඡන්ද පොරොන්දුවක් බවට පත්වූ කාලසීමාවක් ද පැවතුනේය. 2005 වර්ෂයෙන් පසුව මාර්ග පද්ධතිය ඉතාමත් වේගයෙන් සංවර්ධන කෙරුණු අතර 2011 වර්ෂය වන විට අධිවේගී මාර්ග පවා ඉදිවී තිබුණේය. යුධමය තත්වයෙන් පසු උතුරු නැගෙනහිර ප්‍රදේශයන්ගේද නවීන හා දියුණු මාර්ග පද්ධතියක් ඇති විය.

එහෙත් මේ වන විට රට පුරාම මහාමාර්ග ඇතුළු මාර්ග පද්ධතිය දැඩි ලෙස අබලන් වී තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගය ද මේ වන විට අබලන් වෙමින් පවතින ස්වරූපයක් ඇති වී තිබේ. දක්ෂිණ අධිවේගයේ කඩවත සිට බියගම දක්වා කොටසේ පාලම ඇති ප්‍රදේශයේ එක් මං තීරුවක් දැඩි රළු ස්වාභාවයක් ඇති වී තිබෙන අතර එය රථවාහනවල රෝදවලට දැඩි හානි සිදුකළ අවස්ථා ද වාර්තා වේ. මීට අමතරව කඩවත සිට මාතර දක්වා වූ මාර්ගයේ යම් යම් ස්ථානයක් යම් බැස්මකට ලක්ව ඇති බවටත්, පාලම් මත ඇති ගැටි වාහනය පාලනය කිරීමට බාධාවක් වන තරමට වැඩි වී තිබෙන බවටත් රියදුරන් චෝදනා කර සිටී.

ඊට අමතරව අනෙකුත් මාර්ගවල ද බොහෝ ස්ථාන කැඩී ගොස් ඇති බවත් ඒවාට යෙදූ තාවකාලික විසඳුම් හේතුවෙන් මාර්ගයේ නොපෙනෙන උගුල් ඇති වී තිබෙන බවටත් රියදුරන් චෝදනා කර සිටී. එනම් එවැනි තාවකාලික විසඳුම් මගින් මාර්ගයේ එම කොටස් උඩට නෙරා ඇති බවත් ඒ මතින් ධාවනය කිරීමේ දී දැඩි අපහසුතාවයකට ලක්වන බවටත් චෝදනා එල්ල වී තිබේ.

අතුරු මාර්ග පද්ධතිය ද බොහෝ ප්‍රමාණයක් අබලන් ස්වාභාවයක් ඇති වී තිබෙන බවත් අලුතින් කාපට් ඇතිරූ මාර්ග පවා කෙටි කාලයක් තුළ නැවතත් අබලන් වන තත්වයක් ඇති වී තිබෙන බවටත් රියදුරන් චෝදනා කර සිටී.

මීට අමතරව ප්‍රධාන මාර්ගවල මාර්ගය මැද්දෙන් හාරා දමා ඇති ජල මාර්ග ද, විදුලිබල මණ්ඩලය විසින් හා ටෙලිකොම් ආයතනය විසින් මාර්ග හාරා සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් මාර්ගයේ එක් මං තීරුවක් බොහෝ විට ගිලා බැස ඇති බවත් මාර්ගය අසමමිතික හැඩයක් ගැනීම හේතුවෙන් වාහන තුළ ගමන් කිරීමේ දී දැඩි මගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවත් වාර්තා වේ.

මීට අමතරව මාර්ග මැද හාරා දමා ඇති පියන් ඇති ස්ථානවලින් වාහන ගමන් කිරීමේදී වාහනවලට දැඩි හානි සිදුවූ අවස්ථාව බොහෝ ඇති බව රියදුරන් කියා සිටී. ඒවා බොහෝ විට මාර්ගයට වඩා උඩට නෙරා ඇති බැවින් අනතුරු රැසකට ප්‍රධාන වී ඇති බව රියදුරන් පෙන්වා දෙයි. යතුරු පැදි එම ස්ථානවලදී අනතුරකට ලක්වීම නොවැළැක්විය හැකි තත්වයක් ඇති වී තිබෙන බව ද ඔවුන් පෙන්වා දෙයි.

මෙම තත්වයන්ට හේතු සොයා බැලීමේ දී හෙළි වූයේ ඇතැම් මාර්ග නිසි පරිදි නඩත්තු නොවන බවයි. එමෙන්ම ඒවා ඉදිකිරීමේ දී ද නිසි තත්වයෙන් ඉදි කර නැති බවටද චෝදනා එල්ල වෙයි. මාර්ග හාරා එහි යට සිදුකරන ජලනල එලීම් වැනි දෑ සිදුකරන ආයතන මාර්ග සංවර්ධන අධිකාරිය සමග නිසි අවබෝධයකින් යුක්තව කටයුතු නොකිරීම ද මීට ප්‍රබල බලපෑමක් ඇති කළ සිදුවීමක් බවද අනාවරණය විය.

මෙම තත්වය හේතුවෙන් රථවාහන ද ඉක්මණින් අබලන් වන තත්වයක් උදා වී ඇති බව රියදුරන් පවසයි. සාමාන්‍යයෙන් කිලෝ මීටර් 50000ක් පමණ ධාවනය කළ හැකි රෝද කිලෝ මීටර් 35000කින් පමණ ගෙවී යන තත්වයක් ද උදාවී ඇති බව ඔවුන් පෙන්වා දෙයි. ඊට අමතරව රිය අනතුරුවලින් සැළකිය යුතු ප්‍රමාණයකට අබලන් මාර්ග හේතු වී තිබෙන බව ද නොරහසකි. වෙනත් රටවල මාර්ගයේ වරදක් මත අනතුරක් සිදුවීමේ දී ඒ සම්බන්ධයෙන් වාහන අයිතිකරුවන්ට වන්දි අයකරගත හැකි ක්‍රමයක් පවතී. එහෙත් මෙරට එවැනි ක්‍රමයක් නොමැති අතර අනතුරකදී මාර්ගයට හෝ ඒ අසල පවතින රාජ්‍ය දේපළකට සිදුවන හානියකට රථවාහන හිමිකරුවන්ගෙන් රජය වන්දි ලබා ගනී.

මේ තත්වය වහාම විසඳුමක් ලබා නොදුනහොත් නැවතත් වරක් “දියුණු මාර්ග පද්ධතියක් ඇති කිරීම” ඡන්ද පොරොන්දු අතරට එක්වනු ඇත.

Rivira FB Group Rivira Youtube
To Top