දේශීය පුවත්

“සමෘද්ධිමත් සහ සශ්‍රික රටක් හෙට දිනයේ බිහි කිරීමට ගෝඨාභය-මහින්ද දෙපළගේ නායකත්වය අවශ්‍යයි”

72 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් රටට සහ ජනතාවට සෙත් පතා කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහභාගී විය.

බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් පෙබරවාරි 2 වන ඉරිදා පස්වරුවේ එය සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමිපාණන්වහන්සේගේ අනුශාසනා පරිදි, කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ අතුලදස්සි බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා අමරපුර නිකායේ අනුනායක පූජ්‍ය බොරැල්ලේ අතුල අනුනායක ස්වාමින් වහන්සේගේ මගපෙන්වීමෙන් පිංකම සිදු කෙරිණ.

“මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ලාගේ දැඩි කැපවීම සහ පරිත්‍යාගයෙන් එදා රටට සාමය සහ නිදහස උදාකර ගැනීමට හැකි වූ” බව විශේෂ අනුශාසනාව කරමින් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ලේඛකාධිකාරී පුජ්‍ය පල්ලේකන්දේ රතනසාර නායක ස්වාමින් වහන්සේ සඳහන් කළහ. සමෘද්ධිමත් සහ සශ්‍රික රටක් හෙට දිනයේ බිහි කිරීමට ද මෙම දෙපළගේ නායකත්වය යළිත් ඉවහල් වෙතැයි උන්වහන්සේ පැවසූහ.

සැබෑ බෞද්ධ නායකයෙකු ලෙස මහා සංඝරත්නය සහ ධර්මය කෙරෙහි අසීමිත ගෞරවයෙන් ක්‍රියාකරන ජනාධිපතිතුමාගේ ක්‍රියාකලාපය ද මහා සංඝරත්නයේ පැසසුමට ලක් වූහ.

අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇතුළු මැති ඇමතිවරු සහ රාජ්‍ය නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top