2020 මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කිරීමට සූදානම් වන බව ‘රිවිර’ට වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් දැනටමත් පක්ෂ මහලේකම්වරයා වෙත ඉල්ලීම් සිදු කර ඇති බව ද සඳහන්.
පසුගිය දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් සමග පිහිටුවාගත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සම නායකයින් ලෙස හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන පත්කරගත යුතු බවට තීරණයක් ගත්තද පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් සියළු දෙනාම ඊට එරෙහි වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු එම පක්ෂයේ සියළු දෙනාම පාහේ සම නායකත්වයට දැඩි විරෝධයක් පළ කරමින් කියා සිටියේ සිටිය යුත්තේ එක් නායකයෙකු බවත් ඒ මහින්ද රාජපක්ෂ විය යුතු බවත් පමණි.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෙහාන් සේමසිංහ, රොෂාන් රණසිංහ ඇතුළු පිරිස් මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයක් ඊට කිසිසේත්ම අවශ්‍ය නොවන බව ඍජුව ප්‍රකාශ කළ අතර ඔවුන් පවසන්නේ පාක්ෂිකයාගේත් රටේත් ඉල්ලීම පොහොට්ටුව ලකුණින් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් මහමැතිවරණය ඉදිරිපත් විය යුතු බව ජනතා මතය වී ඇති බවයි.
මේ තත්වය හමුවේ සන්ධානගත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන්ගේද දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ. ඉන් වැඩි පිරිසක් පක්ෂ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකරගෙන් ඉල්ලා ඇත්තේ ඉදිරි මැතිවරණයට වෙනම තරඟ කිරීමට කටයුතු කරන ලෙසයි. එහෙත් මහලේකම්වරයාගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණද මෛත්‍රීපාල සිරිසේනට සම නායකත්වය නොලැබෙන්නේ නම් තීරණයක් ගත යුතු බව පැවසූ බව එම සංවිධායකවරුන් පෙන්වා දෙයි.
ඊට අමතරව ඔවුන් පවසන්නේ එක්ව තරඟ කිරීමේ දී සංවිධායකවරුන්ට ද නාමයෝජන නොලැබෙන බැවින් එය පාක්ෂිකයා අධෛර්යමත් කරන්නක් විය හැකි බවයි. එබැවින් වෙනම තරඟ කිරීම සියළු දෙනාට එකඟ විය හැකි තීරණයක් බව ඔවුන් පෙන්වා දෙයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිවක් ප්‍රකාශ කර නැති අතර සංවිධායකවරුන්ගේ තීරණය ඔහුට දැනුම් දීමක් ද සිදුව නැතැයි වාර්තා වේ.

