ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ධූරය හොබවන සමයේ මුල්ගල් තබා ඉදි කිරීම් ආරම්භ කළ කොළඹ ආනන්ද විද්‍යාලයේ “සත්මහල” ගොඩනැගිල්ල ආනන්දයෙන් බිහිවූ විශිෂ්ඨතම පුරවැසියෙකු හා ආනන්දයෙන් බිහිවූ පළමු රාජ්‍ය නායකයා වන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් මීට සුළු මොහොතකට පෙර සිසු අයිතියට පත් කරනු ලැබුවා.
මහල් සතකින් යුත් මෙම ගොඩනැගිල්ලේ 7 වන මහල දක්වාම විදුලි සෝපානයකින් තොරව ආබාධිත පුද්ගලයෙකුට වුවත් ගමන් කළ හැකි ආකාරයට ගොඩනැගූ ලංකාවේ ඇති එකම පාසල් ගොඩනැගිල්ල මෙයයි.
පෙබරවාරි 7 වන සිකුරාදා සිසු අයිතියට පත් කළ ආනන්ද විද්‍යාලයේ සත්මහල පසුගිය රජය විසින් ජනාධිපතිවරණ සමයේ වැඩ අවසන් නොකරම විවෘත කිරීමට ගත් උත්සාහයක් මැතිවරණ කොමිසම විසින් වළක්වනු ලැබුවා.
වත්මන් රජයේ ජනාධිපතිවරයා, අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු අමාත්‍යංශ ලේකම්වරු කිහිප දෙනෙකු, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ඉහළ නිලයන් කිහිපයක් ඇතුළු වගකිව යුතු තනතුරු රැසක් දරන්නේ ආදි ආනන්දීයන් වීමද විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ ඇති විශිෂ්ඨතම බෞද්ධ පාසල ලෙස කොළඹ ආනන්ද විද්‍යාලය සළකනු ලබයි.
මෙම අවස්ථාවට ආදි ආනන්දීයන් වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය, අධ්‍යාපන, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග, අද්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, ඇතුළු ආරාධිතයින් පිරිසක් ද සහභාගී විය.
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.
ආනන්ද විද්‍යාලයෙන් මෙතෙක් බිහි වූ ප්‍රථම සහ එකම විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් එම විද්‍යාලයේ “සත්මහල ගොඩනැගිල්ල” විවෘත කිරිම ඓතිහාසික අවස්ථාවක් විය.
විද්‍යාලයට පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් පිළිගනු ලැබීය. සිය පාසල් ජීවිතයේ වත් පිළිවෙත්වලට මුල් තැන දෙමින් ජනාධිපතිතුමා ප්‍රථමයෙන්ම විහාර මන්දිරය වැඳ පුදා ගත්තේය. පෝතක බාලදක්ෂයන්ගේ පිළිගැනීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයන්ගේ යෂ්ටි උත්තමාචාරය මැද පීඨිකාවට පිවිසි ජනාධිපතිතුමා වෙත ශිෂ්‍ය භට උත්තමාචාරයක් ද පිළිගැන්විණ.
මාතෘ භූමිය වෙනුවෙන් ජීවිතය කැප කළ රණවිරු ආනන්දීයන් සිහිපත් කරමින් ජනාධිපතිතුමා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය. විද්‍යාලයීය ආදි කතෘවරුන් සමරා හෙන්රි ස්ටීල් ඕල්කට් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ද සිදු විය.
මෙරට පාසලක ඉදිකෙරුණු ප්‍රථම සත් මහල් ගොඩනැගිල්ල මෙයයි. වැය කළ මුදල රුපියල් කෝටි 62කි. විද්‍යාලයේ කණිෂ්ඨ, ද්වීතීයික අංශයේ සිසුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පංතිකාමර 44ක්, විද්‍යාගාර, පරිගණකාගාර හා චිත්‍ර, නැටුම්, සංගීත යනාදී සෞන්දර්ය විෂයයන් සඳහා කාමර ද විද්‍යාලයීය ප්‍රධාන පුස්තකාලය සහ ගුරු විවේකාගාරයක් සහ වෛද්‍ය මධ්‍යස්ථානයක් ඊට අයත්ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්ව සිටියදී අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතින් 2015 ජනවාරි මස 01 දින ඉදිකිරීම් සඳහා මුල් ගල් තැබිණි.
උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වත්මන් රජයේ අධ්‍යාපන හා සංවර්ධන උපායමාර්ග තුළ අධ්‍යාපනයේ දැඩි වෙනසක් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය. අනාගතයේ බිහිවන දරුවන් හැකියාවෙන්, නිපුණතාවෙන්, දැනුමෙන් සන්නද්ධ කොට ඉදිරි අභියෝග හා බාධක ජය ගත හැකි පිරිසක් බවට පත් කළ යුතු යැයි එතුමා පැවසීය.
“තවමත් දියුණු වෙමින් පවතින රටක් යන මානසිකත්වයෙන් ඉවත් වී සැබෑ දියුණුව අත්කරගන්නට නම් අපට ඒ සඳහා දැක්මක් හා සැලැස්මක් තිබිය යුතුයි. එම දැක්ම හා සැලැස්ම රජය සතුයි. ඉදිරියේ දී කරන්නට වැඩ රාශියක් ඇත. ජය ගන්නට අභියෝග රාශියක් තිබේ. අතිතයේ බරපතල අභියෝග ජයගත් ජාතියක් ලෙස අනාගතයේ දී අපට එය කළ හැකියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ එකමුතුකම හා නිසි නායකත්වයක්” ජනාධිපතිතුමා කියා සිටියේය.
ගුරු කේන්ද්‍රීය හා විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට ගමන් කිරීමේ කාලය එළැඹ ඇතැයි ද එතුමා පෙන්වා දුන්නේය.










සම්බන්ධිත පුවත්
ආනන්දයේ සත්මහල විවෘත කිරීම මැකො නවත්වයි

