දේශීය පුවත්

සමන් රත්නප්‍රියටත් මන්ත්‍රී වාහන බලපත්‍රය ඇතුළු වරප්‍රසාද ගොන්නක්

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජයම්පති වික්‍රමරත්න සිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුනට සමන් රත්නප්‍රිය පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළා.

ඒ අනුව පෙබරවාරි 5 වන බදාදා දින සමන් රත්නප්‍රිය එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව ඔහු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස විපක්ෂයේ අසුන්ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් කළ සොයා බැලීමක දී වාර්තා වූයේ තවත් මාස කිහිපයක් පමණක් ඉතිරි පාර්ලිමේන්තු කාල සීමාවට මන්ත්‍රීවරයෙකු ඉවත් වීමෙන් අස්වූ අසුනට පත් වූ සමන් රත්නප්‍රිය මන්ත්‍රීවරයාටද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හිමි වරප්‍රසාද සියල්ල ලැබෙන බවයි. එහෙත් විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා අවම වශයෙන් වසර 5ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බව ද සඳහන්. නමුත් විශේෂ අනුමැතියක් යටතේ කෙටි කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීන්ට පවා විශ්‍රාම වැටුප් ගෙවූ අවස්ථා ඉතිහාසයේ ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටියා.

මෙම තත්වය සමන් රත්නප්‍රියට පමණක් නොව මීට පෙර ද සිදු වූ ඇති බව ආරංචි මාර්ග සඳහන් කර සිටියා. බොහෝ අවස්ථාවල මන්ත්‍රීවරයෙකු මිය ගිය විට පැමිණෙන මන්ත්‍රීන්ට ද සියළු වරප්‍රසාද හිමිවන බව ආරංචි මාර්ග සඳහන් කර සිටියා.

එහි දී අප විමසා සිටියේ යම් හෙයකින් පක්ෂයක් වසර 5ක් පාර්ලිමේන්තුවේ සිට විසුරුවා හැරීමට පෙර ඉල්ලා අස්වුවහොත් ලැයිස්තුවේ ඊළඟට සිටින අයට එම වරප්‍රසාද සියල්ල ලැබෙනවාද යන්න පිළිබඳවයි. ඊට ප්‍රතිචාර දක්වමින් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු ක්‍රමය අනුව ඊට කිසිඳු තහනමක් නොමැති බවයි. මීළඟට අපි විමසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වසර 5කට වරක් වාහන බලපත්‍රය ලැබෙනවා ද යන්නයි. ඊට ලැබුණු පිළිතුරු වූයේ වසර 6ක් පාර්ලිමේන්තුව පැවතිය ද වසර 5න් 5ට වාහන බලපත්‍ර ලබාගත හැකි බවයි. ඒ අනුව එක් පාර්ලිමේන්තුවක වසර 5ක් සම්පූර්ණ කරන මන්ත්‍රීවරයෙකුට වාහන බලපත්‍ර 2ක් ලබා ගත හැකි බවයි.

එක් වාහන බලපත්‍රයක් ඇමරිකානු ඩොලර් 65000ක සීමාවට යටත් වේ. ඒ යටතේ රජයේ ගාස්තු ලෙස සුළු මුදලක් අය කරන බවද සඳහන්. මෙම වාහන බලපත්‍රය රුපියල් කෝටි දෙකකට ආසන්න මිලකට විකිණිය හැකි බවත් එලෙස විකිණු අවස්ථා වාර්තා වී ඇති බවත් මීට පෙර නාගානන්ද කොඩිතුවක්කු පෙන්වා දී තිබුණා. සාමාන්‍යයේ බොහෝ සුඛෝපභෝගී වාහන ඇමරිකානු ඩොලර් 65000ට අඩුවෙන් ලබා ගත හැකි බවද සඳහන්.

Rivira FB Group Rivira Youtube
To Top