දේශීය පුවත්

බිලියන ගණනක වාහන මගඩිය ගැන හිටපු ජනමාධ්‍ය ලේකම්ගෙන් නිවේදනයක්

රුපියල් කෝටි 243ක් අධික මුදල් වැය කරමින් පසුගිය යහපාලනය රජය සිදු කිරීමට ගිය වාහන මිල දී ගැනීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශ හිටපු ලේකම් නීතිඥ නිමල් බෝපගේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පෙබරවාරි 8 සෙනසුරාදා නිකුත් කළ අදාළ නිවේදනයෙන් හිටපු අමාත්‍යංශ ලේකම් නීතිඥ නිමල් බෝපගේ කියා සිටින්නේ හිටපු අගමැතිවරයාගෙන් හා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකගෙන් එල්ල වූ දැඩි පීඩනය හමුවේත් අදාළ වාහන මිල දී ගැනීම නවත්වා ගැනීමට ඔහුට හැකි වූ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58 දෙනෙකු සඳහා මාසික කුලියට අධිසුඛෝපභෝගී වාහන 58ක් මිල දී ගැනීමට අදාළව එම ගණුදෙනුවට කැබිනට් අනුමැතිය පවා හිමි ව තිබූ බවත් එවැනි අනුමැතියක් තිබිය දී එය අත්සන් නොකර සිටීමට නොහැකි බවත් පෙන්වා දෙන හිටපු ලේකම්වරයා කියා සිටින්නේ එහි තිබූ බව කියන දූෂිත අරමුණ හේතුවෙන් තමන් ඊට අත්සන් නොකර සිටි බවයි.

පසුව ඒ මතම ධූරය පවා අහිමි වූ බව නිමල් බෝපගේ එම නිවේදනයෙන් කියා සිටිනවා. මේ පිළිබඳව නව රජයේ ජනාධිපති ලේකම්වරයා ද දැනුවත් කර තිබෙන පවසන ඔහු කියා සිටින්නේ පසුගිය යහපාලන රජය සමයේ දී “මෙහෙයුම් කල්බදු ක්‍රමය” යටතේ වාහන මිල දී ගැනීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්.

“යහපාලන” ආණ්ඩුවේ වාහන මිල දී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ හෙළිදරව්ව

රුපියල් බිලියන 2.8ක් හෙවත් රුපියල් කෝටි 280ක වටිනාකමින් යුත් අධිසුඛෝපභෝගී වාහන 78ක් පසුගිය “යහපාලන” ආණ්ඩුවේ කැබිනට්/රාජ්‍ය/නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් මිල දී ගෙන ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේ දී අනාවරණය වූ අතර එය මේ වන විට ඉමහත් ආන්දෝලනයකට ලක්වෙමින් තිබේ. එහෙත් එම අනාවරණයේම දිගුවක් ලෙස ඔවුන්ගේ විශේෂ අවධානයට ලක්විය යුතුව තිබූ එවැනිම සුවිශේෂ කරුණක් ඒ මොහොතේ ඔවුන්ට මගහැරුණු බැවින් ඒ පිළිබඳව ඔවුන්ගේ ද සමස්ත රටවැසියන්ගේ ද අවධානයට යොමු කරවීම සඳහා මෙම විශේෂ මාධ්‍ය නිවේදනය නිකුත් කරමි.

එනම් 2016 වසර අගභාගයේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට ඉහත ආකාරයේ අධිසුඛෝපභෝගී වාහන 58ක් පෞද්ගලික සමාගමක් මගින් මාසික කුලියට ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමත කළ ගණුදෙනුවේ වටිනාකම ද රුපියල් බිලියන 2.43ක් හෙවත් රුපියල් කෝටි 243ක් විය. එහෙත් එම ගණුදෙනුවට අදාළ විෂයභාර අමාත්‍යංශය වූ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් ආරම්භයේ සිටම මා ඊට විරුද්ධ විය. සාමාන්‍යයෙන් ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් කැබිනට් තීරණයකට විරුද්ධ වීමට අමාත්‍යංශ ලේකම්වරයෙකුට නෛතික බලයක් නොමැති වුවද එම ගණුදෙනුව ආරම්භයේ සිටම මට නිරීක්ෂණය වූ අතිශය දූෂිත අරමුණ හා ක්‍රමවේදය මා දැඩිව ප්‍රතික්ෂේප කළ අතර එය ප්‍රසම්පාදන ක්‍රියාවලියටද සම්පූර්ණයෙන්ම පටහැනිවූ බැවින් එකී පදනම ඔස්සේ මා ඊට විරුද්ධ විය.

එහෙත් මාගේ එම විරෝධතාවය නොතකා කැබිනට් මණ්ඩලය එය අනුමත කළ අතර එම වාහන සපයන පෞද්ගලික සමාගම සමග අදාළ ගිවිසුමට අත්සන් කිරීමේ වගකීම මා වෙත පවරා තිබිණි. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ තර්කය වූයේ කැබිනට් මණ්ඩලය අනුමත කළ කරුණක් ප්‍රතික්ෂේප කිරීමට අමාත්‍යංශ ලේකම්වරයෙකුට නෛතික බලයක් නොමැති බැවින් විෂයභාර අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් මා ඊට වහා අත්සන් තැබිය යුතු බවයි. එහෙත් ආකාර පහකින්ම එම ගණුදෙනුව නීතියට පටහැනි බව පෙන්වා දෙමින් දිගින් දිගටම මා ඊට අත්සන් තැබීම ප‍්‍රතික්ෂේප කරමින් සිටි තත්වයක් තුළ හිටපු අග‍්‍රාමාත්‍යවරයාගෙන් සහ හිටපු මුදල් අමාත්‍යවරයාගෙන් මා වෙත එල්ල වූ බරපතල පීඩනය කොතෙක් දරාගත නොහැකි වුවද මා එම ස්ථාවරය වෙනස් කළේ නැත.

අවසානයේ හිටපු අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් එවකට ක‍්‍රියාත්මක වූ “ආර්ථික හා කළමණාකරණ කැබිනට් කමිටුව” වෙත මා කැඳවා “Sign or Resign” යනුවෙන් හිටපු අගමැතිවරයා විසින් ප‍්‍රසිද්ධියේම මා හට තර්ජනය කරනු ලැබීය. කෙසේ වුවද එම තර්ජනයට ද මා කීකරු නොවූ අතර එවකට ඒ පිළිබඳව මාධ්‍ය ඔස්සේ ලැබුණු පුළුල් ප්‍රචාරය හමුවේ “යහපාලන” ආණ්ඩුවේ පිරිහීම ආරම්භ වූ බැවින් හිටපු ජනාධිපතිවරයා විසින් එම ගණුදෙනුව යළි සමාලෝචනය කිරීම සඳහා සිව්පුද්ගල කමිටුවක් පත් කොට එතෙක් එය ක‍්‍රියාත්මක කිරීම අත්හිටවනු ලැබීය. එහෙත් ඒ වන විට විපක්ෂ මන්ත‍්‍රීවරුන්ද, පෞද්ගලික මාධ්‍ය හා සමාජ මාධ්‍ය ද ඒ සම්බන්ධයෙන් සෘජුව පෙනීසිටිම හේතුවෙන් ආණ්ඩුවට එරෙහිව නැගී ආ බරපතළ මහජන විරෝධය හමුවේ එම ව්‍යාපෘතිය ක‍්‍රියත්මක කිරීමට නොහැකි වූ අතර එමගින් රුපියල් කෝටි 243ක් ඉතිරි කරගැනීමට හැකිවිය. එහෙත් ඒ සමගම මා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා මුදල් අමාත්‍යංශය හා ජනමාධ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධ කරමින් නව අමාත්‍යංශයක් නිර්මාණය කොට හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්වරයා එම නව අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කරමින් නීති විරෝධීව මාගේ තනතුර අහිමි කරනු ලැබීය. එහිදී මගේ තනතුර අහිමි වුවද රුපියල් කෝටි 243ක් රටට ඉතිරි කරදීමට මට හැකිවිය.

මේ සම්බන්ධයෙන් නව ජනාධිපතිවරයා බලයට පත් වූ සැණින් නව රජයේ ජනාධිපති ලේකම්වරයාටද එම තොරතුරු ලබා දීමට මා ක්‍රියාකළ අතර මේ කරුණ සම්බන්ධයෙන් හා පසුගිය “යහපාලන” ආණ්ඩුව සමයේ රජයට වාහන මිල දී ගැනීමේ දී භාවිතා කළ “මෙහෙයුම් කල්බදු ක්‍රමය” ආශ්‍රිතව සිදුකළ වාහන මිල දී ගැනීම් පිළිබඳවද විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කරමි.

නීතිඥ නිමල් බෝපගේ
හිටපු ලේකම්
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය

Rivira FB Group Rivira Youtube
To Top