යහපාලන රජයේ ඇමතිවරුන්ට අධි සුඛෝපභෝගී මෝටර් රථ ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 28000ක් හෙවත් බිලියන 2.8ක් වැය කර ඇති බව පෙබරවාරි 7 වැනිදා මුල්වරට අනාවරණය විය. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව හෙළි කර සිටියා.
එම හෙළදරව්වෙන් පැය කිහිපයක් ගත වීමටත් පෙර පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් නීතිඥ නිමල් බෝපගේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රුපියල් ලක්ෂ 24000ක් වැය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීන් 58කට අධි සුඛෝපභෝගී වාහන මිල දී ගැනීමට පැවති සූදානමක් ඔහු විසින් වළක්වාලනු ලැබූ බවයි. එහෙත් එම ක්‍රියාවලියේ දී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ තමන්ට “Sign or Resign” ලෙස පවසා ඍජුව තර්ජනය කළ බවද ඔහු විසින් හෙළිදරව් කර තිබුණා.
මීට පෙර 2016 වසරේ දී අගමැතිවරයාගෙන් එල්ල වූ පීඩනය පිළිබඳ ඔහු මාධ්‍ය වෙත අනාවරණය කර සිටිය ද එය “තර්ජනයක්” දැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ ඒ පිළිබඳ දැනට යමක් කිව නොහැකි බව කියා එදින කියා සිටියා. එහෙත් එය තර්ජනයක් ලෙස සිදුකළ බව පෙබරවාරි 8 දිනැති නිවේදනයෙන් ඔහු හෙළිදරව් කර තිබෙනවා.
නිමල් බෝපගේ 2016 වසරේ දී මේ සම්බන්ධයෙන් කළ පළමු හෙළිදරව්ව පහතින්. වීඩියෝව උපුටා ගැනීම බීබීසී සිංහල සේවයෙන්.
කෙසේ හිටපු ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ සිය නිවේදනයෙන් ඉල්ලා ඇත්තේ තමන් එම ගණුදෙනුවට අත්සන් නොතැබීම මත වැළැක්වීමට හැකිවුවද පසුගිය යහපාලන රජය විසින් “මෙහෙයුම් කල්බදු ක්‍රමය” යටතේ වාහන මිල දී ගැනීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසයි. මෙහෙයුම් කල්බදු ක්‍රමයේ දී වාහනයේ වටිනාකමට වඩා වැඩි මුදලක් මාසික කුලී ලෙස යම් පෞද්ගලික සමාගමකට ගෙවූවද කාල සීමාව අවසානයේ දී වාහනයේ හිමිකම නැවතත් පෞද්ගලික සමාගමටම හිමි වීම තුළින් රජයට විශාල පාඩුවක් සිදුවන බව පෙනී යයි.
මේ අතර පෙබරවාරි 8 පැවති රැස්වීමකට සහභාගී වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ යහපාලන රජයේ වාහන මිල දී ගැනීමේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳ පරීක්ෂණයක් කළ යුතු බවයි. මන්ත්‍රීවාහන යෝජනාවට නිමල් බෝපගේ ලේකම්වරයා අත්සන් නොකිරීම මත ක්‍රියාත්මක කළ නොහැකි වුවද ඇමතිවරුන්ට වාහන මිල දී ගැනීමේ දී ඒ ඒ අමාත්‍යංශයේ ලේකම්වරුන් ඊට අත්සන් කර ඇති බව ද මන්ත්‍රීවරයා හෙළිදරව් කර සිටී. නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා පවසන්නේ මෙතරම් විශාල මුදලකට වාහන මිල දී ගැනීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවයි.


