,
Politics

එජාපය, සජාබයක් කරන්න සජිත් ගෙනා යෝජනාවට දැඩි විරෝධයක්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ගොඩනැගීමට සූදානම් වන නව සන්ධානය “සමගි ජාතික බලවේගය” ලෙස නම් කිරීමටත් ඉදිරි මහමැතිවරණයේ දී අලියා වෙනුවට “හදවත” සළකුණ යටතේ තරඟ කිරීමටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පාර්ශවයෙන් ඉදිරිපත් වූ යෝජනාවකට එක්සත් ජාතික පක්ෂය වෙතින් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

පෙබරවාරි 10 සඳුදා සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරී ඇති අතර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ශවය ඇතුළු සාමාජිකයින් රැසක් ඊට දැඩි විරෝධයක් එල්ල කර තිබෙනවා. ඒ තත්වය හමුවේ සජිත් ප්‍රේමදාස ඊට විරෝධය පළ කරමින් රැස්වීමෙන් ඉවත්ව ගිය බව ද වාර්තා කරුවන් සඳහන් කරයි.

කෙසේ වෙතත් එජාප මහලේකම්වරයා ප්‍රකාශ කළේ නව සන්ධානයේ නම හෝ සළකුණ මෙතෙක් තීරණය කර නොමැති බවත් “අලියා” ලකුණින්ම මහමැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා වූ බවයි.

සජිත් ප්‍රේමදාස පාර්ශවයෙන් “සමගි ජාතික බලවේගය” යන නාමය යෝජනා වී ඇත්තේ එහි ඉංග්‍රීසි නාමය UNP නාමයෙන්ම ලබාගත හැකිවීම මත බව ආරංචි මාර්ග පෙන්වා දෙයි. එහි ඉංග්‍රීසි නාමය වී ඇත්තේ Unity National Power යන්නයි. මේ අතර මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පැවසුවේ දැනට ලියාපදිංචි පක්ෂයක් පෙබරවාරි 10 දින මෙම නාමය යටතේ හා හදවත ලකුණ යටතේ එම පක්ෂයේ ලියාපදිංචිය වෙනස් කිරීමට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවයි. බොහෝ විට එම ඉල්ලීම අනුමත වන බව ද ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එහෙත් නව සන්ධානයේ නාමය ජාතික ජන බලවේගයේ නමට අතිශයින් සමාන වීම හේතුවෙන් මැතිවරණයේ දී එය දැඩි අයහපත් බලපෑමක් ඇති කරන බව එජාප ක්‍රියාකාරීන්ගේ අදහස වී තිබෙන බවද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඔවුන් සජිත් ප්‍රේමදාස සමග සාකච්ඡා කිරීමටත් තීරණය කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ගොඩනැගීමට නියමිත සන්ධානයේ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර පත් කිරීමට එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ පූර්ණ අනුමැතිය හිමිව තිබෙන බවද එජාප මහලේකම්වරයා පැවසීය.

Rivira Ads
To Top