දේශීය පුවත්

පෞද්ගලික සමාගම් දෙකකින් විදුලිය මිල දී ගැනීමට නව රජයත් තීරණය කරයි

රටේ පවතින විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මෙගාවොට් 200ක විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට නව රජය ද තීරණය කර තිබෙනවා. විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර විසින් මේ සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබෙනවා.

ටෙන්ඩර් කැඳවීම හරහා ඩීග පවර් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සහ අල්ටාකා ග්ලෝබල් සොලියුෂන්ස් ලිමිටඩ් යන සමාගම් දෙක තෝරාගෙන ඇති අතර එම සමාගම් දෙකෙන් මෙගාවොට් 200ක විදුලිය වසරක කාලයක් සඳහා ලබා ගැනීමට මෙලෙස කැබිනට් අනුමැතිය ඉල්ලා තිබෙන අතර ඊට අනුමැතිය හිමිව තිබෙනවා. මීට අමතරව දැනටත් විදුලිය මිලදී ගන්නා පෞද්ගලික සමාගම්වල පවතින ගිවිසුම් තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා.

පසුගිය දා එකවරම විදුලිය කැපීමට සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ද කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ. එම විදුලිය කැපීමට හේතුවී ඇති ඛණිජ තෙල් සංස්ථාවට ඇති අධික ණය ප්‍රමාණය පිළිබඳවට විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබෙනවා.

කෙසේ වෙතත් පෞද්ගලික බලාගාර තුළින් විදුලිය මිල දී ගැනීමට සිදුව ඇත්තේ විදුලි මාෆියාවක් පවතින බැවින් වන බවටත් ඊට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් කිහිප දෙනෙකු සම්බන්ධ බවටත් චෝදනා එල්ල වෙමින් පවතිනවා. එලෙස චෝදනා කරන්නන් පවසන්නේ විදුලිබල මණ්ඩලයේ දැනට සිටින ඉංජිනේරුවරුන්ට මෙන්ම සේවය කර ඉවත්ව ඇති ඉංජිනේරුවරුන්ට පෞද්ගලික බලාගාර ඇති බවත් ඒවායෙන් විදුලිය මිල දී ගැනීම වෙනුවෙන් අවශ්‍ය වටපිටාව සැකසීමට දැනට සේවය කරන ඉංජිනේරුවරුන් කිහිප දෙනෙකු කටයුතු සිදුකරමින් පවතින බවටත් තොරතුරු ලැබී ඇති බවයි.

Rivira FB Group Rivira Youtube
To Top