විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන සන්ධානය වෙනුවෙන් පක්ෂයක් ලියාපදිංචිය වෙනස් කර භාවිතා කිරීමට තීරණයක් ගෙන තිබේ.
ඒ අනුව “අපේ ජාතික පෙරමුණ” ඒ සඳහා මැතිවරණ කොමිසමෙන් කළ ඉල්ලීමකට මැතිවරණ කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා. පෙබරවාරි 6 දිනැති ලිපයක් මගින් මැතිවරණ කොමිසම ඒ බව දන්වා තිබෙනවා.
එම ලිපිය අනුව අපේ ජාතික පෙරමුණ මින් ඉදිරියට “සමගි ජන බලවේගය” නමින් කටයුතු කිරීමට නියමිත වි තිබෙනවා. එහි සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස හා මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර පිළිගැනීමට ද මැතිවරණ කොමිසම තීරණය කර තිබෙන බව සඳහන්.
මීට පෙර වාර්තා වූයේ එම සන්ධානයේ නම “සමගි ජාතික බලවේගය” ලෙස නම් කිරීමට තීරණය කර තිබූ බවකි. එහෙත් ඊට එක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනෙකු විරෝධය පළ කර සිටියේ එසේ වුවහොත් එය එක්සත් ජාතික පක්ෂ ඉංග්‍රීසි කෙටි යෙදුමට සමාන වන බවයි. මේ බව එජාපයේ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර ද මැතිවරණ කොමිසමට ලිඛිතව දන්වා තිබෙනවා.
ඒ අනුව නව නාමය ලෙස “සමගි ජන බලවේගය” ලෙස යොදා තිබෙනවා. මේ තත්වය තුළ අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් “ජාතික ජන බලවේගය” නමට අතිශයින් සමාන වී තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. සමගි ජන බලවේගයේ ඉංග්‍රීසි නාමය වී ඇත්තේ United Peoples Power යන්නයි. එහි කෙටි නාමය ඒ අනුව UPP ලෙස සටහන් වනු ඇත.
කෙසේ වෙතත් එජාප මහලේකම්වරයාගේ ලිඛිත අනුමැතියකින් තොරව සජිත් ප්‍රේමදාස නව පක්ෂයේ සභාපතවරයා ලෙස පත් කර තිබීම ද ගැටළු සහිත බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා. ඒ අනුව සජිත් ප්‍රේමදාස මේ වන විට පක්ෂ 2ක සාමාජිකත්වය දරණ බව ඔවුන් පවසනවා. ඒ අනුව එජාප මහලේකම්වරයාගේ ලිපියකින් ඔහුගේ මන්ත්‍රීධූරය අහෝසි කළ හැකි තත්වයක් ඇතිව තිබෙන බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි.

