දේශපාලන

විජේවීරගේ පුත් උවිඳු ගෝඨාභය දෙසටද?

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මෙරට දේශපාලනයේ නව බලවේගයක් නිර්මාණය කළ දේශපාලනඥයෙකු බව අවිවාදිතය. එහෙත් ඔහු විසින් ගොඩ නැගූ විකල්ප දේශපාලන ධාරාව මේ වන විට බොහෝ වෙනස්කම්වලට භාජනය වෙමින් පවතින අතර ජනතාව අතර බොහෝ අවස්ථාවලදී චෝදනාවටද ලක්විය. ඒ ප්‍රධාන දේශපාලන පක්ෂ සමග සන්ධානගත වීම හා ව්‍යංග සහයෝගීතා ගිවිසුම්වලට එළැඹීම වැනි කරුණු නිසාය.

රෝහණ විජේවීර පුත් උවිඳු විජේවීර මේ වන විට රුසියාවේ විශ්ව විද්‍යාලයක දේශපාලන විද්‍යාව සහ අන්තර්ජාතික සබඳතා යන ක්ෂේත්‍රයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින බව වාර්තා වේ. කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණි ඔහු මාධ්‍ය සමග අදහස් පළ කරමින් දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණි. එහිදී ඔහුට වත්මන් ජනතා විමුක්ති පෙරමුණේ භාවිතය සම්බන්ධයෙන් එතරම් සෑහීමකට පත්නොවන ගතියක් පෙනෙන්නට තිබුණු අතර පෙරටුගාමීන් ලෙස වෙන්ව ගියේ ජවිපෙ අරටුව බව ද සඳහන් කළේය.

එමෙන්ම තමන් පුද්ගලිකවම මාක්ස්වාදියෙකු ලෙස හඳුන්වා නොගන්නා බව පැවසූ උවිඳු විජේවීර කියා සිටියේ මේ රට සිංහල බෞද්ධ රටක් බවත් එය ජනතා විමුක්ති පෙරමුණ ද තේරුම්ගත යුතු බවත් තම විශ්වාසය බවයි. එමෙන්ම සිංහල බෞද්ධ පදනමක සිට රට වෙනුවෙන් ඕනෑම මොහොතක පෙරට ඒමට සූදානම් බව ද ඔහු කියා සිටියේය. ජවිපෙ කාලානුරූපීව වෙනස් විය යුතු බවත් එය හොඳ පැත්තට සිදුවිය යුතු බවත් ඔහු සඳහන් කළේය. පසුගිය කාලයේ ජවිපෙ මැදිහත් වූ සන්ධාන සම්බන්ධයෙන් ජනතාවට එතරම් ප්‍රසාදයක් නැති බවද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය නායකත්වය සමග ඉදිරිගමනකට සූදානම් විය යුතු බවද ඔහු විසින් අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර සිටියේය. ඒ තුළින් ඔහු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග එක්වන බවට ඉඟි පළවූ බවට සමාජ කතිකාවතක් ඇති වී තිබේ. බොහෝ දුරට උවිඳු විජේවීර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කිරීමේ ඉඩක් පවතින බවට සමාජ මාධ්‍ය තුළද කතිකාවක් නිර්මාණය වී තිබේ.

එසේ වුවහොත් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරයන්ගේ පුත් උවිඳු විජේවීර ජවිපෙට එරෙහි ගමනකට අවතීර්ණ වීමක් සිදුවනු ඇතැයි දේශපාලන විචාරකයින් පවසයි.

Rivira FB Group Rivira Youtube
To Top