දේශීය පුවත්

මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ නෙළුම් කුළුණේ ලොකු පුටුවට

නෙළුම් කුළුණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පත්කර තිබෙනවා. ඒ අනුව පෙබරවාරි 14 දින ඔහු එම ධූරයේ රාජකාරි ආරම්භ කර තිබෙන බවද වාර්තා වේ.

1980 වසරේ දී දෙවන ලුතිතන්වරයෙක් ලෙස යුද හමුදාවට එක්වී සංඥා බළකායට අනුබද්ධ සේවය කළ ඔහු ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත්ව කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී පශ්චාත් උපාධිය ද සමත් වූවෙකි.

විවිධ රටවල වැඩමුළු හා පාඨමාලාවලට එක්ව සිය දැනුම දියුණුකරගත් ඔහු අමෙරිකාව, එංගලන්තය, චීනය, ඉන්දියාව, පිලිපීනය, ඊශ්‍රායලය වැනි රටවල් ගණනාවක පාඨමාලා හැදෑරූ අයෙක් බවද සඳහන්. හමුදා සේවය වෙනුවෙන් වීර පදක්කම් ගණනාවක් ද හිමිකරගෙන යුද්ධයේ නිපුණයකු ලෙස දක්ෂතා දක්වා ඇත.

මානුෂීය මෙහෙයුම අවධියේ හමුදා ප්‍රකාශක ලෙස ද කටයුතු කර ඇති මොහු ලන්ඩන් ශ්‍රී ලංකා ‍මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙසද වසර දෙකක පමණ කාලයක් කටයුතු කළේය. යාපනය, වන්නි, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල ක්ෂේත්‍ර බළසේනාවේ සේනාධිපතිවරයකු ලෙස ද යුද සමයේ කටයුතු කළේය. විශ්‍රාම ගැනීමට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස ද කටයුතු කර තිබේ.

Rivira FB Group Rivira Youtube
To Top