දේශීය පුවත්

රජය නොදන්වාම වතුරත් කපයි

පසුගිය දා හදිසියේම සහ පෙර දැනුම් දීමකින් තොරව විදුලි සැපයුම අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබුණි. පසුව අමාත්‍යවරයාගේ මැදිහත් වීම මත වහාම එම තීරණය අවලංගු කර අඛණ්ඩව විදුලිය සැපයීමටත් විදුලි කප්පාදුව ගැන සොය බැලීමට කමිටුවක් පත් කිරීමටත් තීරණය කර තිබුණි.

මේ වන විට වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කය හා තවත් බොහෝ ප්‍රදේශවලට දිනකට පැය 20ක් පමණ ජල සැපයුම අත්හිටුවන බවයි. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙලෙස පෙර දැනුම් දීමකින් තොරව සහ අඛණ්ඩව මෙම ජල කප්පාදුව සිදුවූ බවයි. ඔවුන් පවසන්නේ දහවල් 12 සිට පසුදා උදෑසන 6 තෙක් ජලය වැඩිවශයෙන්ම පරිභෝජනය වන කාල සීමාව තුළ මෙලෙස ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබෙන බවයි. ඒ හේතුවෙන් තමන් දැඩි දූෂ්කරතාවයකට පත්ව සිටින බවද ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, ජාඇල, මහර, වත්තල ප්‍රදේශවලට මෙලෙස පැය 20ක් පමණ ජල සැපයුම අත්හිටුවා තිබෙන බවට චෝදනා එල්ල වන අතර පසුගිය පෙබරවාරි 10 වැනිදා සිට අඛණ්ඩව එය සිදුවන බවටද චෝදනා එල්ල වෙයි. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ “රජය මෙලෙස හිතුමතේ විදුලිය, ජලය කැපීම තම මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක්” බවයි.

මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී වාර්තා වූයේ එම ප්‍රදේශවලට ජල සැපයුම අඛණ්ඩව ලබා දිය නොහැකි තත්වයක් ඇති වී තිබෙන බවයි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය කියා සිටියේ අඛණ්ඩ ජල සැපයුමක් ලබා දීම සඳහා ප්‍රමාණවත් ජලය නොමැති බවයි. එබැවින් වරින් වර ජලය ලබාදෙන බවත් එම වේලාවන් තුළ ජලය පුරවාගත යුතු බවත් ඔවුන් පැවසීය.

ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ පාන්දර 5 සිට රාත්‍රි 11 තෙක් වරින් වර ජලය “ලැබිය හැකි” බවයි. එයද ස්ථිරව ලැබෙන වේලාවක් සඳහන් කිරීමට ඔවුන් අපොහොසත් විය. මේ තත්වය තවත් සති කිහිපයක් පුරාවට තිබිය හැකි බවද ඔවුන් සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top