2016 වසරේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් ශ්‍රී ලංකාවේ කළ සංචාරයක් අතරතුර දී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම හරහා මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනුකර තිබූ නඩුවක් පෙබරවාරි 17 සඳුදා කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි එක් සැකකරුවකු වන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි 17 දින නියෝගයක් නිකුත් කර තිබුණි.
එලෙස අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර පෙබරවාසි 18 අඟහරුවාදා දින සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඔහු වෙනුවෙන් නිකුත් කර තිබූ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළාය.
රුපියල් 7,500 ක ඇපයක් මත ජයන්ත සමරවීර මුදා හරින ලෙස එම නියෝගයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් දන්වා තිබේ.
සැකකාර ජයන්ත සමරවීර වෙනුවෙන් අධිකරණයට වෙත කරුණු දැක්වූ ඔහුගේ නීතිඥවරයා සඳහන් කර සිටියේ පෙබරවාරි 17 දින පැවති අධික මාර්ග තදබදය හේතුවෙන් තම සේවාදායකයාට නිසි වේලාවට අධිකරණය හමුවට පැමිණීමට හැකියාවක් නොලැබුණු බවයි. ඒ සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට සිය කණගාටුව පළ කරන බව ද නීතිඥවරයා පැවසුවේය.

