යහපාලන ආණ්ඩුවේ මංගල සමරවීර විදේශ කටයුතු අමාත්‍යවරයාව සිටි 2015 සහ 2016 වසරවල දී ජිනීවා මානව හිමිකම් කොමිසම සමග එකඟතාවකට එළඹුණු 30–1 සහ 40-1 යන යෝජනා දෙකෙන් වහාම ඉවත් වීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලේකම් කාර්යාලයේ දී පෙබරවාරි 17 සඳුදා දින කැඳවන ලද මෙම විශේෂ රැස්වීම සඳහා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම රජයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු ද සහභාගි වූහ.
වත්මන් රජයේ විදේශ ප්‍රතිපත්තිය සමග නොගැලපෙන අවස්ථා වහාම නිවැරදි කළ යුතු බවට එහි දී සාකච්ඡා වී තිබේ. ඒ අනුව පවත්නා දේශපාලන වාතාවරණය යටතේ 30-1 හා 40-1 යන යෝජනා දෙක ක්‍රියාත්මක කිරීම වත්මන් රජයේ විදේශ ප්‍රතිපත්තිය හා නොගැළපෙන බැවින් වහාම එම යෝජනා දෙකේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට රජය කටයුතු කළ යුතු බව එහි දී තීරණය කර ඇත.
අදාළ යෝජනාවලට ශ්‍රී ලංකා රජය සම අනුග්‍රාහකත්වය ලබා දී තිබුණද එම යෝජනා පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයටවත් ඉදිරිපත් කොට අනුමැතිය ලබාගෙන නැති බව පෙබරවාරි 17 පැවැති සාකච්ඡාවේ දී අනාවරණය වී ඇත. අදාළ යෝජනාවලින් අපේක්ෂා කර ඇත්තේ ව්‍යවස්ථාවෙන් පනවා ඇති සීමා අතික්‍රමණය කරමින් පුළුල් බලය බෙදා හැරීමක් සිදු කිරීමට කටයුතු කරන බවට පොරොන්දු වීමයි.
ඒ සඳහා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, යුද අපරාධ චෝදනා එල්ල වී සිටින හමුදා සෙබළුන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කිරීම හා නඩු පැවරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර දැමීම සහ අතුරුදන්වූවන් සම්බන්ධ කාර්යාලයක් ස්ථාපිත කිරීම එම යෝජනා හරහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වී තිබිණි.
මේ තත්ත්වය යටතේ අදාළ යෝජනා ජනතා අභිලාෂයන්ට පටහැනි බවටත් නව රජයෙන් බලාපොරාත්තු වූ අපේක්ෂාවන්ට පටහැනි බවටත් රජය තීරණය කර තිබේ. ඒ බව එළැඹෙන සතියේ දී විදේශ සබඳතා අමාත්‍යවරයා ජිනීවා මානව හිමිකම් සමුළුවට ගොස් රජයේ එම තීරණය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට ද තීරණය කර තිබේ.
ඒ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයටත්, පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කර අදහස් ලබා ගැනීමටත් යෝජනා වී තිබේ.

