2018 වසරේ ජුනි මස 8 වන දින යශෝධ රංගෙ බණ්ඩාර නැමැති හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාරගේ පුත්‍රයා බීමතින් රජයට අයත් කැබ් රථයක් පදවාගෙන පැමිණ හලාවත බංගදෙණිය ප්‍රදේශයේදී නිවසක් තුළට කඩා වැදී අනතුරක් සිදුවී තිබිණි.
ඒ අනුව “බීමතින් රිය පදවා දේපළවලට අලාභහානි සිදුකිරීම සහ පුද්ගලයකුට තුවාල සිදු කිරීම” ඇතුළු චෝදනා හයකට වරදකරු වූ යශෝධ රංගේ බණ්ඩාරට හලාවත දිසා විනිසුරු මංජුල රත්නායක රුපියල් 32,500ක දඩ මුදලක් නියම කර තිබේ. ඒ හලාවත දිසා අධිකරණය හමුවේ ඊයේ පෙබරවාරි 18 දින අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදීය.
එහිදී සියලුම චෝදනාවන්ට විත්තිකරු වරද පිළි ගෙන තිබේ. ඒ අනුව නියෝගය ලබාදෙමින් අදාළ දඩ මුදල නොගෙවන්නේ නම් මාස 6ක සිරදඬුවමක් නියම කළ දිසා විනිසුරුවරයා ඔහුගේ රියැදුරු බලපත්‍රයද මාස හයක් අත්හිටුවීමට නියෝග කළේය.
මෙම නඩුව මීට පෙර කැඳවූ අවස්ථාවේදී අදාළ නිවස අලුත්වැඩියා කර දීමටත් අලාභහානි වූ උපකරණවලට වන්දි ලබා දීමටත් විත්තිකරු අධිකරණය හමුවේ එකඟ වී තිබිණි.
ආරච්චිකට්ටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් පැමිණිල්ල ඉදිරිපත් කළ අතර නීතිඥ නිහාල් සුමනවීර විත්තිකරු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

