දේශපාලන

ශවේන්ද්‍රට ඇමරිකාවෙන් දැමූ තහනම ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරයේ කොටසක් – වසන්ත සමරසිංහ

ඇමරිකානු රාජ්‍ය ලේකම් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා පවුලේ සාමාජිකයින්ට අමෙරිකාවට ඇතුල් වීම තහනම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අදහස් පළ කර සිටියා. ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ පැවසුවේ අදාළ ඇමරිකානු තීරණය වත්මන් ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරණ යාන්ත්‍රණයේ කොටසක් බවයි.

අනුරාධපුරයේ දී පැවති හමුවකට එක්වෙමින් වසන්ත සමරසිංහ මේ බව ප්‍රකාශ කළේය.

යුධ සමයේ ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අමෙරිකාවෙන් ප්‍රශ්නයක් ඇති වී නොමැති තත්වයක් තුළ ශවේන්ද්‍ර සිල්වාට මෙවැනි ගැටළුවක් නිර්මාණ කර ඇත්තේ එළඹෙන මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුත්තක කොටසක් ලෙස බව ඔහු පැවසුවේය.

පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු නැවත වතාවක් කඳුළු හා අනුකම්පාව මුල් කර ගනිමින් නිර්මාණ කරන බව පෙනී යන බවද වසන්ත සමරසිංහ කියා සිටියා. ව්‍යාජ දේශප්‍රේමීත්වයක් පෙන්වමින් ජනතා ප්‍රශ්න යට දැමීමට ආණ්ඩුව උත්සහ ගන්නා බවද ඔහු අවධාරණය කළේය.

එළැඹෙන මහමැතිවරණ ව්‍යාපාරය තුල අප්‍රේල් 21 වන දිනය යෙදෙන බවත් එයින් පාස්කු ප්‍රහාරයේ මතකයන් අලුත් වන බවත් එයට දඩුවම් දිමට නැවත මැතිවරණ ජයක් ඉල්ලා සිටීමට ඔවුන් බලාපොරොත්තු වන බවත් වසන්ත සමරසිංහ අවධාරණය කළේය.

එහෙත් වත්මන් ආණ්ඩුවට දැන් මාස 5 ක කාලයක් ගත වී ඇතැත් තවමත් සහරාන්ලා සමඟ සම්බන්ධතා පැවැත් වු කිසිවෙකු අල්ලා සිරගත කර නොමැති බවත් වසන්ත සමරසිංහ මෙහිදී පැවසීය.

Rivira FB Group Rivira Youtube
To Top