දේශීය පුවත්

ගම්පහ ප්‍රදේශ රැසක ජල සැපයුම යළිත් අත්හිටුවයි – ආණ්ඩුවට බරපතල චෝදනා

ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ, වත්තල, බියගම, කටුනායක, ජාඇල, මහර, කැළණිය, දොම්පෙ සහ ගම්පහ ප්‍රාදේශීය සභා ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසක ජල සැපයුම නැවත දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබෙනවා.

පසුගිය දින කිහිපය පුරාවටම එම ප්‍රදේශවල ජල සැපයුම අඛණ්ඩව ලබා දී නොතිබූ අතර පෙබරවාරි 20 දින උදෑසන 8 සිට පැය 18ක අත්හිටුවීමක්ද සිදු කෙරිණි.

හදිසි තත්වයක් හේතුවෙන් නැවතත් පෙබරවාරි 21 දින උදෑසන සිට ජල සැපයුම මෙලෙස අත්හිටුවා ඇති බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේය.

මේ අතර මෙතෙක් නිල දැනුම් දීමකින් තොරව ගම්පහ දිස්ත්‍රික්කයේ ජල සැපයුම සීමා කර තිබූ අතර පෙබරවාරි 21 දින ජල සම්පාදන මණ්ඩලය සඳහන් කර ඇත්තේ පවතින වියලි කාලගුණය හේතුවෙන් ලංකාව පුරාම පැය 24 පුරා ජල සැපයුම ලබා දීමට නොහැකි වී ඇති බවයි. ඒ අනුව ඉදිරියේ දී සියළුම ප්‍රදේශවලට ජලය අඛණ්ඩව නොලැබී යන අතර ජල සැපයුම අත්හිටුවන වේලාවන් නිශ්චිතව දැක්වීමක්ද සිදුකර නැත.

මෙලෙස ජල සැපයුම අත්හිටුවීම මාසයක පමණ සිට සිදුවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කර සිටින අතර ඒ නිශ්චිත කාල සටහනක් හෝ ඊට නොමැති බව ඔවුන් පෙන්වා දෙනවා. ඔවුන් පවසන්නේ ජනතාවගේ මූලික අයිතියක් වන ජලය ලබා දීම මෙලෙස පැහැර හැරීම ආණ්ඩුව තමන්ව නොසළකා හැරීමක් ලෙස තමන් සළකන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රදේශවාසීන් පවසන්නේ ආණ්ඩුවේ දුර්වල කළමණාකරණය හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවයි. මෙම ගැටළුව වහාම විසඳීමට බලධාරීන් මැදිහත් නොවුනොත් ජලය ඉල්ලා පාරට බැසීමට සිදුවන බවද ඔවුන් සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top