දේශපාලන

හකීම්ගේ ප්‍රකාශය: ජාතිවාදීන් එක්ක සන්ධාන නෑ – ජවිපෙ නලින්ද කියයි

දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීමට මේ වනවිටත් සාකච්ඡා පවත්වා ඇති බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය හා නොමග යවන සුළු ප්‍රකාශක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

පෙබරවාරි 24 සඳුදා දින කළුතරදී මාධ්‍යයට අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස පැවසුවේ එවැනි කිසිඳු සන්ධානයක් පිළිබඳ සාකච්ඡාවක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය සමග දේශපාලන කටයුතු ආරම්භ කර ඇති බවයි.

රවුෆ් හකීම්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ත අවධාරණය කළේ ජාතික ජන බලවේගය කිසිවිටෙක එජාපය හෝ ශ්‍රීලනිපය සමග හෝ ඔවුන් සමග ආණ්ඩු කළ පක්ෂ සමග හෝ සාකච්ඡා කර නැති බවයි.

තමා දන්නා පරිදි රවුෆ් හකීම් රටේ ඇති වූ සියළුම ආණ්ඩුවල ඇමතිකම් දැරෑ අයෙකු බවත් එහෙත් ඔහු මුස්ලිම් ජනතාව වෙනුවෙන් කර ඇති සේවයක් නොමැති බවයි. අවම වශයෙන් තමන්ට ඡන්දය ලබා දුන් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට පවා හකීම්ට නොහැකි වු බව නලින්ද ජයතිස්ස පෙන්වා දුන්නේය.

එවැනි තත්වයක් තුළ ජාතික ජන බලවේගය, ප්‍රධාන විපක්ෂය වීමේ සටන ආරම්භ කළ පසු මෙවැනි බොරු කටකථා ගොතමින් කරන්නේද එජාපයේම කොන්ත්‍රාත්තුවක් බවත්, ජාතික ජන බලවේගය මේ වන විට මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න ගැන කථා කරන්න මැදිහත් වී ඇති බවත් ඒ පිළිබඳ මුස්ලිම් ජනතාවගේ විශ්වාසය ලැබී ඇති බවත් කියා සිටියේය.

එම තත්වය තුළ මුස්ලිම් ජනතාවගේ ආකර්ශනය ජාතික ජන බලවේගයට ලැබීම ඉවසා ගත නොහැකිව මෙවැනි උපායන් යොදන බවත්, හකීම්ට මුස්ලිම් නායකයෙක් ලෙස ඔවුන්ව ආමන්ත්‍රණය කිරීමට නොහැකි විට මෙලෙස ජනතා විමුක්ති පෙරමුණේ පානෙන් එළිය බැලීමට පටන් ගෙන ඇතැයි ද නලින්ද ජයතිස්ස කියා සිටී. කිසි දිනක තම පක්ෂය ජාතිවාදය, දේශපාලනයට යොදා නොගන්නා බවත්, එවැනි දෑ සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් සමග එක් නොවන බවත් අවධාරණය කළේය.

රවුෆ් හකීම්ට සිංහල, මුස්ලිම් හා දෙමළ ජනතාව වෙනුවෙන් කිරීමට නොහැකි වු කාර්යයන් ජාතික ජන බලවේගය යටතේ තම කණ්ඩායම විසින් සිදු කරන බවත් පැවසීය.

මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ නිල නිවේදනයක්ද නිකුත් කරමින් කියා සිටින්නේ එම ප්‍රකාශය රවුෆ් හකීම්ගේ පුද්ගලික අදහසක් බවයි. තම පක්ෂය එවැනි සන්ධාන තීරණයක් ගෙන නොමැති බව පවසන ජනතා විමුක්ති පෙරමුණ කියා සිටින්නේ එළැඹෙන මැතිවරණයේදී ජාතික ජන බලවේගය සමග එක්ව තරඟ කරන බවයි.

Rivira FB Group Rivira Youtube
To Top