දේශීය පුවත්

තරුණයා යටකළ ජිප් රිය පැදවූයේ තමා නොවන බව චම්පිකගේ රියදුරු කියයි, චම්පික රට යන්න ඉල්ලයි

2016 වසරේදී රාජගිරියේ දී පාඨලී චම්පික රණවකගේ ජීප් රියෙහි තරුණයෙකු ගැටී සිදුවූ අනතුර සිදුවන අවස්ථාවේදී එම ජීප් රථය පැදවූයේ තමා නොවන බව පාඨලී චම්පික රණවක විසින් පොලීසිය වෙත ඉදිරිපත් කළ රියදුරු අධිකරණය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

තමාට ලැබුණු උපදෙස් මත බොරැල්ල පොලීසියට ගොස් රියදුරා ලෙස ඉදිරිපත් වූ බවත් පාඨලී චම්පික රණව‍කගේ රියදුරු දිලුම් තුසිත කුමාර නැමැත්තා ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇතැයි පෙබරවාරි 24 කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා. නඩුව කැඳවූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අවස්ථාවේදී මේ බව හෙළි වී තිබෙනවා.

මීට පෙර මෙම නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින 2016 වසරේදී පොලීසියට ඉදිරිපත් වූ රියදුරා වන දිලුම් තුසිත කුමාර නැමැත්තා අධිකරණය හමුවේ ප්‍රකාශයක් සිදුකිරීමට නීතීඥවරයෙකු මාර්ගයෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව පසුගිය ජනවාරි 22 වනදා සැකකාර දිලුම් තුසිත කුමාර විසින් අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේදී සිද්ධිය සම්බන්ධයෙන් රහසිගත ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියා සිටියේ දිලුම් තුසිත කුමාරට බොරැල්ල පොලීසියට පැමිණෙන ලෙස දන්වා, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ තවත් රියදුරෙක් වන අල්විස් නැමැත්තෙකු විසින් අනතුරට පත්වූ ජීප් රථය දිලුම් තුසිත කුමාරට ගෙනැවිත් භාරදී කිසිදු ලෙසකින් බිය නොවී පොලීසියට ඉදිරිපත් වන ලෙසත්, වැඩි කල් නොගොස් ඔහුව නිදහස් කරගැනීමට කටයුතු කරන බවත් දිලුම් තුසිත කුමාරට පවසා තිබෙන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට අනාවරණ කළේය.

එලෙස පොරොන්දු වූ ආකාරයටම එම අවස්ථාවේ දී පොලීසියට ඉදිරිපත් වූ සැකකරුට යම් සහනයක් ලැබෙන සේ පොලීසිය කටයුතු කර ඇති බව පෙනී යන බවත් කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවේදී මහේස්ත්‍රාත්වරයා ලබාදුන් තීන්දුව මේ දිනවල නීතීපති දෙපාර්තමේන්තුව අධ්‍යනය කරමින් සිටින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

2019 වසරේදී යළි ආරම්භ කළ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා දිලුම් තුසිත කුමාරට කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවීමක් සිදුකළ අවස්ථාවේ ඔහුව පාඨලී චම්පික රණවකගේ බත්තරමුල්ල නිවසේ සඟවාගෙන සිට ඇති බව ද දිලුම් තුසිත කුමාරගේ ප්‍රකාශයේදී පවසා අතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ගේ කරුණු දැක්වීමෙන් අනතුරුව සැකකාර පාඨලී චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න කියා සිටියේ සිය සේවාදායකයාට සති දෙකක කාලයක් සඳහා පෞද්ගලික කටයුත්තකට ඔස්ට්‍රේලියාවට යාමට සිදුව ඇති බැවින් ඒ සඳහා අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් අවසර ඉල්ලා සිටින බවයි..

නමුත් එම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පෙන්වා දුන්නේ විදෙස් ගතවීමට අවසර ඉල්ලීම සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශ්වයේ ස්ථාවරය දැනුම් දීමට පෙර එම ඉල්ලීමට අදාළ ලිපිලේඛන පරිශීලනය කිරීමට අවශ්‍යව ඇති බවයි.

සියළු කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ පළමු සැකකරු වන පාඨලී චම්පික රණවක විදෙස්ගතවීම සඳහා සිදුකළ ඉල්ලීමට අදාළ නියෝගය මාර්තු මස 04 වනදා ලබා දෙන බවයි.

සම්බන්ධිත පුවත්
චම්පික රණවකගේ රියදුරුටත් ඇප

Rivira FB Group Rivira Youtube
To Top