දේශපාලන

මහමැතිවරණයට තරඟ කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි – සන්ධානය නමට පමණයි

2020 මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගොඩ නැගූ සන්ධානයෙන් පොහොට්ටුව ලකුණින් තරඟ කරන බවත් එම සන්ධානයේ නායකත්වය මහින්ද රාජපක්ෂටත් සභාපතිධූරය මෛත්‍රීපාල සිරිසේනටත්, ලේකම්ධූරය බැසිල් රාජපක්ෂටත් ලැබෙන බව පවසමින් එම පක්ෂ ගත් තීරණයක් පිළිබඳ පසුගියා වාර්තා විය. නමුත් මේ වන විට වාර්තා වෙන්නේ එය සම්පූර්ණයෙන්ම නාමික සන්ධානයක් බවත් මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන්, මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ සභාපතිවරයා වන සහ නීතිඥ සාගර කාරියවසම්ගේ ලේකම්ධූරයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවයි.

2015 මහමැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වුවද ඔවුන් භාවිතා කළ නාමය වූයේ එක්සත් ජාතික පෙරමුණ යන්නයි. එහෙත් එය ද නාමික සන්ධානයක් බවත් මහමැතිවරණයට ඉදිරිපත් වූයේ එක්සත් ජාතික පක්ෂය බවත් මෙවර පොහොට්ටු පක්ෂය සිදු කිරීමට නියමිතව ඇත්තේ එයම බවත් මේ වන විට හෙළිව තිබෙනවා.

මේ බව හෙළි උනේ පෙබරවාරි 24 දින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෞද්ගලික රූපවාහිනී මාධ්‍යක වැඩසටහනකට එක්වෙමින් කළ ප්‍රකාශයක් අනුවයි. ඒ අනුව පසුගිය මාස කිහිපය තිස්සේම පොහොට්ටු හිතවාදී මන්ත්‍රීවරුන් වන රොෂාන් රණසිංහ, ශෙහාන් සේමසිංහ හා ප්‍රසන්න රණතුංග පැවසූ පරිදිම ඉදිරි මැතිවරණයට ඔවුන් ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සහ පොහොට්ටුව ලකුණින්ම බව තහවුරු වී තිබෙනවා.

එම තත්වය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා සෙසු පක්ෂවල නියෝජිතයින්ට නාම යෝජනා ලැබීම මේ වන විට ගැටළුකාරී වී ඇති බවත් එය සම්පූර්ණයෙන්ම අවිනිශ්චිත වී ඇති බවත් ශ්‍රීලනිප ආරංචි මාර්ග කියා සිටී. දැනට ඇමතිධූර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් අයට නාමයෝජනා නොලැබෙනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

එහෙත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය යන මැති ඇමතිවරුන්ට පමණක් නාම යෝජනා ලබා ගැනීම සඳහා පක්ෂයක් ලෙස ගොස් සහය දෙන්නේ නම් ශ්‍රීලනිප සියළු ක්‍රියාකාරීන් පක්ෂයෙන් ඉවත් වී ප්‍රබල දේශපාලන තීන්දුවක් ගන්නා බව ශ්‍රීලනිපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඇතුළු ක්‍රියාකාරීන් තීරණය කර තිබෙන බව ද වාර්තා වේ.

Rivira FB Group Rivira Youtube
To Top