දේශීය පුවත්

හිඟ ඖෂධ වර්ග 310ක් හදිසියේ මිලට ගන්න රුපියල් කෝටි 600ක්

දිවයින පුරා රෝහල්වල පවතින හිඟ ඖෂධ වර්ග 310ක් හදිසි මිලදී ගැනීම් යටතේ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

හදිසි මිලදී ගැනීම් යටතේ වුවද මෙම ඖෂධ මිලදී ගැනීමට දින 60 ක් 90 ක් අතර කාලයක් ගතවනු ඇතැයි අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය.

සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඒ සඳහා අනුමැතිය ඉල්ලා ඇමැති මණ්ඩල සංදේශයක් යොමුකර තිබේ. එම ඇමැති මණ්ඩල සංදේශයට අනුව ඖෂධ වර්ග ආනයනය කිරීම සඳහා රුපියල් කෝටි 600ක මුදලක් අවශ්‍ය බව සඳහන් කර ඇත.

මෙරට ප්‍රධාන වශයෙන් ඖෂධ සපයන ඉන්දියාව සහ බංගලාදේශය යන රටවලට ගොස් මෙම ඖෂධ මිලදී ගැනීමට තීරණය කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ එම ඖෂධ මිලදී ගැනෙනු ඇත.

මෙම ඖෂධ මිලදී ගැනීමේ ප්‍රතිසම්පාදන ක්‍රියාවලිය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය රජයේ ඖෂධ නීතිගත සංස්ථාවෙන් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතන වල නිලධාරී කණ්ඩායමක්ද පිටත් කර යැවීමට නියමිතය.

මේ වසරේ පළමු කාර්තුවට අවශ්‍ය ඖෂධ මෙසේ මිලදී ගනු ලබන අතර එය සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගැනීමට මාස 11 ත් 14 ත් අතර කාලයක් ගතවනු ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය ඖෂධ රාජයේ ඖෂධ සංස්ථාව හරහා ගෙන්වා ගැනීමට ගිය වසරේ රුපියල් කෝටි 4100 ක පමණ ඇණවුම් නිකුත් කර ඇතත් ඖෂධ සංස්ථාවට ඒ සඳහා වෙන් කර ඇත්තේ රුපියල් කෝටි 2500 ක පමණ මුදලක් බව ද සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කැබිනට් මණ්ඩලයට වාර්තා කර ඇත.

රජයේ රෝහල්වල ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින අතර ගිය වසරේ වෙන් කරන ලද මුදල් ප්‍රමාණවත් ලෙස නොලැබීම ද මෙම ඖෂධ හිඟයට බලපා ඇතැයි ඇමැතිවරිය පෙන්වා දී ඇත.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් හිඟ ඖෂධ වර්ග 310 ක් හදිසි මිලදී ගැනීම් යටතේ වහාම ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top