සජිත් ප්‍රේමදාස අගමැති කිරීම සඳහා සියළු දෙනා එකඟ වූ බව හිටපු අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ තිස්ස අත්තනායක පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර පෙබරවාරි 24 සඳුදා පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව සඳහන් කළහ.
මැතිවරණයේ දී සමගි ජනබලවේගය සඳහා හංසයා ලකුණ ලබාදීම සම්බන්ධව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කැමැත්ත පළ කර තිබෙන බවත් එළැඹෙන ඉරිදා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්, හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගයේ මැතිවරණය සඳහා වු පෙර සුදානම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙලෙස රැස්වූ බවත් ඔහු සඳහන් කළා. මහමැතිවරණයේ සංවිධාන හා ප්‍රචාරක කටයුතු පිළිබඳ මෙන්ම නාමයෝජනා සකස් කිරීම ආදි වු කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.
කෙසේ වුවත් මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගත හැක්ක් මැතිවරණය ප්‍රකාශයට පත් වීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස්වරයා සමග සාකච්ඡා කිරීමෙන් බවද ඔහු පෙන්වා දුන්නා.
හරීන් ප්‍රනාන්දු සාකච්ඡාවෙන් පසු කියා සිටියේ එය රැස්වීමක් නොව කෑමකට එක්වීමක් බවයි. එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ පැය දෙකක පමණ සිට කෑම කමින් සිටියාද යන්නයි. ඊට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු කියා සිටියේ “පැය දෙකක් තිස්සේ ඉදිරියේ දී කෑමට නියමිත කෑම පිළිබඳ සළකා බලමින් සිටි කෑම තෝරමින්” සිටි බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සජිත් ප්‍රේමදාස, අගමැති කිරීමේ වැඩපිළිවෙලට සියලු දෙනා සුදානම් බවයි. ඒ වෙනුවෙන් විශාල වැඩපිළිවෙලක් ජනතාව අතරට ගෙන යන බවත් හරීන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත කියා සිටියේය.

