දිනය – 2020 පෙබරවාරි 26
යහපාලන රජය සමයේ හඳුන්වාදුන් “මෙහෙයුම් කල්බදු” ක්‍රමය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය සඳහා වාහන 28 ක් මිලදී ගැනීමට 2020 පෙබරවාරි මස දී කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි රිවිර.lk වෙත වාර්තා වේ. නමුත් නව රජය පත්වීමත් සමගම ජනාධිපතිවරයා නියෝග කර තිබුණේ රජයට කිසිදු වාහන ලබා ගැනීමක් සිදුනොකරන ලෙසයි.
කැබිනට් අනුමැතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වාහන ලබා ගැනීම සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 30කට අධිකයි. නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන් සඳහා කුලී පදනම මත ලබාගෙන ඇති වාහන වෙනුවට “මෙහෙයුම් කල්බදු” ක්‍රමයට නව වාහන මිලදී ගැනීමට තීරණය කර ඇති බව අදාළ කැබිනට් සංදේශයේ සඳහන් කර ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත් කුලී පදනම සහ මෙහෙයුම් කල්බදු පදනම අතර රජයට වාසි වන කිසිඳු පදනමක් නොමැති බවත් අවාසියක් සිදුවන කාරණා බොහොමයක් ඇතුළත් බවත් වාර්තා වේ. කුලී පදනම මත ගැනීමේ දී වාහනයේ මාසික කුලිය මෙහෙයුම් කල්බදු ක්‍රමයේ දී ගෙවන මාසික කුලියට වඩා අඩුවන අතර මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ වාහන කුලියට ගැනීමෙන් එකම වාහනයට වැඩි මුදලක් ගෙවීමට රජයට සිදුවේ. මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ අනිවාර්යෙන්ම වාහනය අවම වශයෙන් වසර 5ක් සඳහා ගිවිසුම් ගත වී ලබා ගත යුතු අතර එහිදී වසර 5 තුළ වාහනයේ සම්පූර්ණ වටිනාකමට සමාන මුදලක් කුලී ලෙස ගෙවා දැමීමට සිදුවනු ඇත.
නමුත් එම වසර 5 අවසානයේ එම වාහනය රජයට අයත් නොවන අතර එම වාහනය සැපයූ පුද්ගලික සමාගමට හිමිකාරීත්වය ලැබේ. මෙහෙයුම් කල්බදු ක්‍රමයේදීත්, කුලී පදනමේ දීත් සත්‍ය වශයෙන්ම සිදුවන්නේ වාහනයක් කුලියට ගැනීමයි. එහෙත් මෙහෙයුම් කල්බදු ක්‍රමයේ දී වාහනය කිලෝ මීටර් 1000ට වඩා අඩු ධාවන කාලයක් සහිත වීම අවශ්‍යතාවයක් ලෙස දක්වා තිබේ. අනෙක් පසින් මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේත් මසකට ලැබෙන්නේ කිලෝ මීටර් 3000ක් පමණි. එවිට වැඩි වන සෑම කිලෝ මීටරයක් සඳහාම අමතරව විශාල මුදලක් පෞද්ගලික සමාගමට ගෙවිය යුතුය. සාමාන්‍යයෙන් නාගරික සංවර්ධන අධිකාරිය වැනි ආයතනයක මාසිකව කිලෝ මීටර් 3000 සීමාව ඉක්මවනු ඇත.
නමුත් අදාළ වාහන මෙම කුලී ක්‍රමයෙන් තොරව ලීසිං ක්‍රමයට (පෙර පැවති ක්‍රමය) ලබාගන්නේ නම් එහි දූෂණයකට කිසිදු ඉඩක් නැත. වාහනයේ අයිතිය වසර 5න් පසු රජයට හිමි වේ. මාසිකව ධාවනය කළ යුතු සීමා මායිම් නැත. එහෙත් අතිශය දූෂිත මෙහෙයුම් කල්බදු ක්‍රමය පිළිබඳ මෙතරම් චෝදනා එල්ල වී තිබියදීත් නව රජයද එම ක්‍රමය යටතේ වාහන මිලදී ගැනීමෙන් නව රජය කෙරේ ඇති ජනතා විශ්වාසය පළුදු වීමට එය හේතුවනු ඇති බව ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි.
පහතින් දක්වා ඇත්තේ මෙහෙයුම් කල්බදු ක්‍රමය 2016 වසරේ දී හඳුන්වා දෙමින් ඒ සඳහා අනුගමනය කළ යුතු මුදල් අමාත්‍යංශයේ චක්‍රලේඛයයි.



