Foreign

කොරෝනා වෛරසය හේතුවෙන් ඉරානයේ පාර්ලිමේන්තුව වසා දමයි

ඉරානය තුල නව කොරෝනා වෛරසය සීඝ්‍ර ලෙස පැතිරි යාම හේතුවෙන් දින නියමයක් නොමැතිව ඉරාන පාර්ලිමේන්තුව වසා දැමීමට තීරණය කර ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර සිටිනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ ඉරාන පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රිවරුන් සහ ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් රැසකට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවයි.

එසේම, මාර්තු 20 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අයවැය ඉදිරිපත් නොකර ඒ වෙනුවෙන් රජයේ වියදම් සඳහා හදිසි අරමුදලක් පමණක් සම්මත කර ගැනීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ අතර BBC පුවත් සේවය වාර්තා කර සිටියේ ඉරානය තුල කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 210 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට එරට සෞඛ්‍ය අංශයේ සේවයේ නියුතු පුද්ගලයින් තහවුරු කර ඇති බවයි. කෙසේ වුවත් ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර සිටියේ වෛරසය හේතුවෙන් එරට මියගොස් ඇත්තේ පුද්ගලයින් 34 දෙනෙක් පමණක් බවයි.

නිශ්චිත තොරතුරු අනාවරණය නොකිරිම ද කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිමට බාධාවක් වී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. කෙසේ වෙතත් වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තවදුරටත් හැකියාව පවතින බව එම සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කර ඇත.

මේ අතර ඉරානයට අවශ්‍ය වෛද්‍ය ආධාර සහ උපකාර ලබාදීමට සුදානම් බවට අමෙරිකානු රජය නිල වශයෙන් දැනුම් දුන් බවට ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙ ප්‍රකාශ කර සිටිනවා. දිනෙන් දින ඉහළ යන වෛරසයේ බලපෑමෙන් ඉරානය ගලවා ගැනීම සඳහා අමෙරිකාව මෙම යෝජනාව සිදුකලත් ඉරාන රජය එය පිළිගනිවි ද යන්න සම්බන්ධයෙන් තහවුරු කළ නොහැකි බවයි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ වන විට ලොවපුරා නව කොරෝනා වෛරස ආසාදිතයින් 84,611 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් මියගිය සංඛ්‍යාව 2923 දෙනෙකු දක්වා ඉහල ගොස් ඇත.

Rivira FB Group Rivira Youtube
To Top