දේශපාලන

අලියා අත්හරින්න එජාපය බෑ කියයි, චම්පිකගේ මෙහෙයවීමෙන් සජිත් සමගි ජනබලවේගයෙන් එයි

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුධය සමථයකට පත් වී නොමැති බව වාර්තා වේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය “අලියා” ලකුණින් මහමැතිවරණයට ඉදිරිපත් වන බව මාර්තු 1 ඉරිදා සවස කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර එකඟත්වයෙන් තීරණය කර තිබේ.

මේ අතර චම්පික රණවකගේ මෙහෙයවීමෙන් ගොඩ නැගෙන සමගි ජනබලවේගය ද සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබේ. සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කියා සිටියේ ඉදිරි පාර්ලිමේන්තුවට සමගි ජනබලවේගය යටතේ එම කණ්ඩායම තරඟ කරන බව හා එහි ලකුණ තවමත් අවසන් වශයෙන් තීරණය කර නැති බවයි.

මෙම කණ්ඩායමට ප්‍රබල එජාප පාක්ෂිකයින් ඇතුළත් නොවී තිබීමද විශේෂත්වයකි. එම කණ්ඩායමේ සිටින ප්‍රධාන චරිත අතර ඇත්තේ වෙනත් පක්ෂ නියෝජනය කරමින් එජාපයට සම්බන්ධ වූ පිරිස් වන අතර ඔවුන්ගේම පක්ෂවල සිට ජනබලවේගයට සහය දීමට තීරණය කර ඇත. ඒ අතර චම්පික රණවක, සරත් ෆොන්සේකා, මනෝ ගනේෂන්, රිශාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, පී. දිගම්බරම් වැනි අය සිටී. සමගි ජනබලවේගයේ ප්‍රධාන පාර්ශවකරුවා එජාපය වුවත් මේ වන විට එහි ඇත්තේ එජාප මන්ත්‍රීවරු 25 දෙනෙකු පමණ බවද වාර්තා වේ.

ඒ අතර සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුම බණ්ඩාර, හරීන් ප්‍රනාන්දු, බුද්ධික පතිරණ, දිලිප් වෙදආරච්චි, නලින් බණ්ඩාර, සුජීව සේනසිංහ, හර්ෂ ද සිල්වා, චන්ද්‍රානි බණ්ඩාර, තලතා අතුකෝරාල, අජිත් පී. පෙරේරා, රන්ජන් රාමනායක, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කබිර් හෂීම්, විජයකලා මහේස්වරන් ඇතුළු පිරිසක් සිටින බවද වාර්තා වේ.

එජාපය පාර්ශවයේ ප්‍රධාන චරිත අතර නායක රනිල් වික්‍රමසිංහ, කරූ ජයසූරිය, අකිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක, ජෝන් අමරතුංග, කාවින්ද ජයවර්ධන, දයා ගමගේ, සාගල රත්නායක, පාලිත තෙවරප්පෙරුම, රාජිත සේනාරත්න, චතුර සේනාරත්න, මංගල සමරවීර, වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් සිටින බව වාර්තා වේ.

දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස කරූ ජයසූරිය නම් කිරීමටද මේ වන විටත් තීරණය කර ඇති බව වාර්තා වේ.

සමගි ජනබලවේගයේ අගමැති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස නම් කිරීමට එම පාර්ශවය තීරණය කර ඇති බවද නිල වශයෙන් දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එජාප පසුපෙළ මන්ත්‍රීවරයෙකු පැවසුවේ “චම්පිකට බැසිල් කෙනෙකු වීමේ සිහිනය සැබෑ කරගැනීමට සජිත් හා එජාපය බිල්ලට දී ඇති” බවයි. නමුත් ඔහු පවසන්නේ බැසිල් එම තීරණය ගත්තේ දේශපාලනික වටපිටාව පිළිබඳ මනා අවබෝධයකින් බවත් දිනන සටනකට මගක් ලෙස බවත් ය. නමුත් ඔහු පෙන්වා දෙන්නේ “නියත පරාජය දැක දැක සජිත් ප්‍රේමදාසට අගමැති කැරට් අලයක් පෙන්වා සමගි ජනබලවේගය හරහා චම්පික මේ සිදු කරන්නේ 2025 ජනාධිපතිවරයා වීමට පරිසරය සකසා ගන්නා ක්‍රියාවලියක්” බවයි. නායකත්වය සිහිනයද ඉටු කරමින් අගමැති කැරට් අලයද පෙන්වමින් මේ සිදුකරන්නේ එජාපය දිය කර හැරීමේ කුමන්ත්‍රණයක් බවද ඔහු සඳහන් කළා.

සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරයෙකු පැවසුවේ “නායකත්වය යනු බලහත්කාරයෙන් තබාගත නොහැකි දෙයක්” බවයි. ඔහු පෙන්වා දෙන්නේ “ජනාධිපතිවරණයට පෙර සජිත්ට එජාපයේ නායකත්වය දුන්නා නම් ඔහු ඉන් ජයගන්නා” බවයි. නව බලවේගය හරහා සජිත් අවශ්‍ය ශක්තිය ලැබී ඇති බවත් පාක්ෂිකයාට පක්ෂයවත් ලාංඡනයවත් අවශ්‍ය නැති බවත් ඔවුන් අවශ්‍ය සජිත් බවත් එම මන්ත්‍රීවරයා කියා සිටියා.

Rivira FB Group Rivira Youtube
To Top