දේශීය පුවත්

උපාධිධාරීන් 42000කට පත්වීම්. මාර්තු 2 සවස 4 වන විට සියළු ලිපි තැපැල් කර අවසන් වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ පොරොන්දුවක් ලෙස රැකියා විරහිත උපාධිධාරීන් 50000ක් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ට පත්වීම් ලිපි බෙදාහැරීම මාර්තු 2 සවස 4 වන විට අවසන් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශ පවසයි.

දැනට රැකියාවක් නොමැති සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධියක් හෝ ඒ හා සමාන සුදුසුකමක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019-12-31 දිනට පෙර සම්පූර්ණ කර තිබෙන රැකියා වියුක්තිකයින් මේ සඳහා සුදුසුකම් ලබයි.

ඒ අනුව අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය වන විට රැකියා ඇයැදුම්පත් 70,000කට අධික සංඛ්‍යාවක් ලැබී තිබූ බව සඳහන්. ඉන් 56,000ක පමණ ප්‍රමාණයක් නියමිත ආකෘතියට අනුව නිවැරදිව සම්පූර්ණ කර තිබී ඇති අතර ඒවා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඇතුළු ආයතන කිහිපයක් මගින් පරීක්ෂාවට ලක් කර තිබේ. ඒ අනුව අයදුම්පත්වල තිබූ අඩුපාඩු සහ අවශ්‍යතා සපුරා නොතිබීම හේතුවෙන් අයදුම්පත්‍ර 28000ක් පමණ ප්‍රතික්ෂේප වී තිබේ.

ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටින්නේ සියළු සුදුසුකම් පරික්ෂා කිරීමෙන් අනතුරුව පත්වීම් ප්‍රදානය කිරීම සඳහා සුදුසුකම් ලබා ඇත්තේ 42,000ක පමණ ප්‍රමාණයක් බවයි.

ඊට අදාළ පත්වීම් ලිපි 42000ක සම්පූර්ණ ප්‍රමාණයම මාර්තු 2 සවස 4ට පෙර සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් පෝස්ට් කූරියර් සේවාව හරහා රැකියා ලාභීන්ට යොමු කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී.

පත්වීම්ලාභීන් එක් වසරක පුහුණු කාලයක් සම්පූර්ණ කළ යුතු අතර එම කාලය තුළ රුපියල් 20,000ක දීමනාවක් ගෙවනු ලබන බවද වාර්තා වේ. පුහුණු කාලයෙන් පසු විශ්‍රාම වැටුප් සහිත රජයේ ස්ථීර සේවයේ පිහිටුවනු ලබන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කරයි. පත් කිරීම් දිස්ත්‍රික් පදනමින් සිදු කෙරෙන අතර පළමු පත්වීම ලබන දිස්ත්‍රික්කයේ අවම වශයෙන් වසර 5ක් සේවය කිරීම අනිවාර්ය වේ. එම කාලය තුළ දිස්ත්‍රික්කය මාරු කිරීමට අවස්ථාව නොලැබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චිගේ අත්සනින් යුක්තව අදාළ ලිපි යොමු කර ඇති බවද වාර්තා වේ. පත්වීම් බලධාරියා වන්නේද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයායි. පත්වීම් ලිපිය ලැබී දින 3ක් ඇතුළත තමන්ට අයත් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත පත්වීම්ලාභීන් වාර්තා කළ යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කියා සිටී.

තවද පත්වීම් ලිපිය ලැබී දින 7ක් ඇතුළත පුහුණුව සඳහා ලිපියේ සඳහන් ආයතනය වෙත වාර්තා කිරීමද අත්‍යවශ්‍ය වේ. එසේ නොකළොත් පත්විම අවලංගු වන බවද ලිපියේ සඳහන් කර ඇති බව වාර්ත වේ.

– සත්‍යජිත් කරුණාරත්න

Rivira FB Group Rivira Youtube
To Top