දේශපාලන

එජාප-ජවිපෙ හැංගිමුත්තන් එළියට, එජාප ආණ්ඩුවේ තනතුරු දැරූ අය ජවිපෙ ජනබලවේගෙන් මහමැතිවරණයට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පසුගිය දිනෙක නිකුත් කළ නිවේදනයක දැක්වුනේ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් එක්ව යහපාලන රජය ගොඩ නැගූ බවයි. එහෙත් එම නිවේදනයෙන් පසු මාධ්‍ය හමු පවත්වමින්ද, නිවේදන නිකුත් කරමින් ද ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ යහපාලන රජයේ කොටස්කරුවෙකු නොවූ බවයි.

නමුත් මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ එජාපය සමග ආණ්ඩු කළ ආකාරය පිළිබඳව හෙළි වෙමින් පවතින බව පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් පෙන්වා දෙනවා. ඔවුන් පවසන්නේ එජාප රජය යටතේ රාජ්‍ය ආයතනවල දේශපාලනික තනතුරු දැරූ පුද්ගලයින් ජවිපෙ විසින් විසින් ගොඩනැගූ ජාතික ජනබලවේගයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන බවයි.

ඔවුන් පෙන්වා දෙන පරිදි මංගල සමරවීර විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යධූරය දරණ සමයේ ස්වාධීන රූපවාහිනියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂධූරයට පත්කර සිටි විමල් කැටිපෙආරච්චි මේ වන විට ජාතික ජනබලවේගයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන බව නිවේදනය කර ඇති බව පෙන්වා දෙයි. ඔවුන් පවසන්නේ ඔහු සිය කෘතියක් ප්‍රචාරය කර ගැනීම සඳහා ස්වාධීන රූපවාහිනී සේවය යොදාගෙන ඇති බවයි. ඒ සඳහා මුදල් ගෙව්වේද නැද්ද යන වග මෙතෙක් හෙළි වී නැති බවද කියා සිටී.

මේ අතර ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, දූෂණ පිළිබඳ ලේකම් කාර්යාල රැස්වීම් සඳහා සහභාගී වූ බව හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර හෙළිදරව් කර සිටි බවද ඔවුන් සිහිපත් කරයි. ඔවුන් පවසන්නේ “මෙලෙස හැංගි හැංගි ඩීල් දැම්මට දැන් සියල්ල එළි වෙමින් පවතින” බවයි.

ජාතික ජනබලවේගය ප්‍රධාන විපක්ෂය වීමට උත්සාහ ගැනීම පිළිබඳ අදහස් දක්වමින් පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය දරමින් සිදුකළේද එජාපය සුරැකීම බවයි.

දින 52 ආණ්ඩුව සමයේ එය පෙරළා දැමීමට මුල්ව කටයුතු කළේ ජනතා විමුක්ති පෙරමුණ බව සිහි කරන ඔවුන් කියා සිටින්නේ එජාපය සුරැකීමේ සංවිධානය ලෙස ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරමින් සිටින බවයි. “ජාතික ජනබලවේගය ලේබලයෙන් පැමිණෙන්නේද සුපුරුදු ජවිපෙම බවද” ඔවුන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මාර්තු 1 ඉරිදා ගම්පහ පැවති සමුළුවකට සහභාගී වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ එජාපයට විපක්ෂයේ භූමිකාව සිදුකළ නොහැකි බවයි. වසර 20ක් තිස්සේ පක්ෂය තුළ ගහගනිමින් සිටින එජාපයට විපක්ෂයේ භූමිකාව කිසිසේත් කළ නොහැකි බව අනුර දිසානායක කියා සිටියා. වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක කියා සිටියේ වත්මන් රජය ගෝඨාභය සහ මහින්ද දෙදෙනෙකු ලෙස පෙන්වීමට උත්සාහ කළද ඔවුන් දෙදෙනා මත දෙකක නැති බවයි. “හොඳ ගෝඨාභයගේ නරක මහින්දගේ වැනි මතයක් නිර්මාණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා” යැයිද ඔහු කියා සිටියා.

Rivira FB Group Rivira Youtube
To Top