දේශීය පුවත්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට විරුද්ධව නඩු පැවරීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය තීරණය කරයි

සෞඛ්‍යයට අහිතකර ආනයනික කිරිපිටි සඳහා ප්‍රමිති සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට විරුද්ධව නඩු පැවැරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කරයි.

පාරිභෝගික අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කර ඇත්තේ, ප්‍රමිති කාර්යාංශයේ කිරිපිටිවල ප්‍රමිතිය පරීක්ෂා කරන පරාමිතීන්/දර්ශක අදට ගැළපෙන ලෙස වෙනස් කළ යුතු බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයද කිරිපිටි නිසා සෑදෙන ලෙඩ රෝග 21ක් පිළිබඳ දැන්වීම් හරහා ජනතාව දැනුවත් කර ඇති බවත්, කථානායක කරු ජයසූරියගේ උපදෙස් මත පාරිභෝගික සේවා අධිකාරිය විසින් ආනයනික කිරිපිටිවල සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබඳ විමර්ශන කර වාර්තා කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කළ අතර, එම වාර්තාව පාර්ලිමේන්තුව තුළ සභාගත කර ඇති බවත් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

එම වාර්තාවට අනුව, ආනයනික කිරිපිටි යනු හෘද රෝග, පිළිකා ඇතුළු ලෙඩ රෝග ගණනාවකට අතවනන අධි අවදානම් කාණ්ඩයේ ආහාරයක් බව අවධාරණය කරන වෛද්‍ය හරිත අලුත්ගේ, තම වෙළෙඳ මාෆියාව තවදුරටත් ඉදිරියට ගෙන යෑමට මාවතක් සොයමින් සිටි ආනයනික කිරිපිටි සමාගම් මේ වනවිට ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ පිහිට පැතීමට ඉදිරිපත්ව ඇතැයි පෙන්වා දෙයි.

පසුගියදා ප්‍රමිති කාර්යාංශයේ නිලධාරීන් නවසීලන්තයේ සංචාරය කළේ කාගේ අනුග්‍රහයෙන් දැ යි ජනතාව ප්‍රශ්න කරන බවත්, කලකට ඉහතදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ටද එම චෝදනාව එල්ල වූ බවත්, රජයට අයත්, පාරිභෝගික සේවා අධිකාරිය හා ප්‍රමිති කාර්යාංශය ප්‍රතිවිරුද්ධ අදහස් ඉදිරිපත් කිරීම ජනතාවට සිදුකරන බලවත් අසාධාරණයක් බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා අවධාරණය කරයි.

කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා, ප්‍රමිති කාර්යාංශය වෙත, තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලිපියක් යවා මාස කිහිපයක් ගතවූ පසු, ඒ සඳහා රුපියල් දෙලක්ෂ හාරදහස් පන්සිය අනූදෙකක මුදලක් ගෙවන ලෙස දැනුම් දී ඇතැයිද වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

අස්බැස්ටෝස් නිසා පෙණහලු පිළිකා ඇති කරන බව විශේෂඥයන් තහවුරු කර පෙන්වා දුන්නද, ප්‍රමිති කාර්යාංශයට අනුව ඇස්බැස්ටෝස්වල ප්‍රමිතිය තහවුරු කර ඇතැයිද, මීට අමතර ජනතා සෞඛ්‍යයට අහිතකර බවට සාක්ෂි සහිත මදුරු දඟර, සොසේජස් වැනි කෘත්‍රිම මාංසමය නිෂ්පාදන සඳහාද ප්‍රමිති කාර්යාංශය සහතික ලබාදෙන බවත්, ප්‍රමිති කාර්යාංශයට අනුව උග්‍ර වසවිස සහිත පළිබෝධනාශක ප්‍රමිතියෙන් යුක්ත බවත් වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙයි.

ඒ අනුව ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිතිය ජනතාව වෙනුවෙන් නොව ජාවාරම්කාර හා රැවටිලිකාර සමාගම් වෙනුවෙන් බව පැහැදිලි බැවින්, ප්‍රමිති කාර්යාංශයට එරෙහිව නීතිමය පියවර ගැනීමට තම සංගමය කටයුතු කරමින් සිටින බව සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
To Top