දේශපාලන

සජිත් නැවතත් රනිල් ළඟටම යයිද? අකිල මහලේකම්ධූරයෙන් ඉවත් වෙලාද?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් හා චම්පික රණවකගේ මෙහෙයවීමෙන් යුත් සමගි ජනබලවේගය යටතේ ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පසුගියදා පැවසීය.

නමුත් මේ වන විට දේශපාලන ආරංචි මාර්ග කියා සිටින්නේ සමගි ජන බලවේගය මැතිවරණයට ඉදිරිපත් වීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බවයි. වෙන්ව තරඟ කිරීම තුළ පාක්ෂිකයා කලකිරී ඡන්ද භාවිතා කිරීමෙන් වැළකීම, වෙනත් පක්ෂ වෙත යොමු වීම වැනි කරුණු මත අපේක්ෂිත ඉලක්කය හෝ සපුරා ගත නොහැකි තත්වයක් උද්ගතව ඇති බව සජිත් පිල පැවැත්වූ සාකච්ඡාවකදී වැඩි වශයෙන් කතාබහට ලක්වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඒ අනුව ඔවුන් යළිත් එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කළ යුතු බවට වන මතය පිළිබඳ සළකා බැලීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔවුන් සැළසුම් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සමග එකඟතාවයක් ඇති කර ගැනීමටයි. ඒ අනුව මාධ්‍ය හරහා සිදුකරන ප්‍රචාරණ වැඩ පිළිවෙළක් සහ පණිවුඩකරුවන් හරහා එම එකඟතාවයන් ඇති කර ගැනීමට තීරණය කර ඇති බව එම පිලට හිතවත් දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඒ අනුව වත්මන් එජාප මහලේකම්වරයා ඉල්ලා අස්වන බවට මතයක් සමාජ ගත කිරීමටද තීරණය වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් එජාප හිතවාදී පුවත් වෙබ් අඩවි සහ පත්තර කිහිපයක් ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර තිබුණි. එහෙත් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ මහලේකම්වරයා එවැනි තීරණයක් ගෙන නැති බවයි. කෙසේ හෝ එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් මහමැතිවරණයට ඉදිරිපත්වන බව තවත් දින 5ක් ඇතුළත තීරණය කර මැතිවරණ කොමිසමට දැනුම් දීමට නියමිත බව ඔවුන් සඳහන් කළා.

දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි සජිත් ප්‍රේමදාස පාර්ශවයෙන් එජාපයට ඉදිරිපත් කිරීමට නියමිත කොන්දේසි අතර දුරකතනය ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වීම, කරූ ජයසූරිය එජාප නායක ලෙස කටයුතු කළ යුතු බව, රවී කරුණානායක හෝ එවැනි දෙපාර්ශවයටම පිළිගත හැකි අයෙකු එජාප මහලේකම්ධූරයට පත් කිරීම වැනි කරුණු ඇතුළත් බව පැවසේ.

නමුත් එජාප ආරංචි මාර්ග කියා සිටින්නේ කිසිඳු කොන්දේසියකට එකඟ විය නොහැකි බවයි. එමෙන්ම අවසන් තීරණ ගත යුත්තේ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් බවටත් ඔවුන් තීරණය කර තිබේ. නමුත් ලකුණ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණිය හැකි වුවත් මහලේකම්වරයා තීරණය කළ යුත්තේ එජාපය විසින් බව ද තීරණය කර අවසන් බව ඔවුන් පැවසීය.

Rivira FB Group Rivira Youtube
To Top