News

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම 16 වනදායින් අවසන්

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපෑලෙන් ඡන්දය දීම සඳහා වන අයැදුම්පත්‍ර තේරීම් භාර නිලධාරීන් විසින් භාරගැනීම 2020.3.16 වන සඳුදා මධ්‍යම රාත්‍රි 12.00ට අවසන් වන බව එම කොමිෂන් සභාව පවසයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී තැපෑලෙන් ඡන්දය භාවිතා කිරීම සඳහා මැතිවරණ රාජකාරි සඳහා යොදවා ගැනීමට අපේක්ෂිත සියලුම රජයේ නිලධාරීන්, සේවකයන්, විදුහල්පතිවරුන් හා ගුරුවරුන්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන්, සේවකයන්, තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, සේවකයන්, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, සේවකයන් සහ ත්‍රිවිධ හමුදාවන්හි, පොලිස් දෙපාර්තමේන්තුවේ සහ සක්‍රිය ආරක්ෂක සේවාවල යොදවා සිටින සිවිල් ආරක්ෂක බළකායේ සාමාජික, සාමාජිකාවන් සුදුසුකම් ලබන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

සහතික කිරීමේ නිලධාරීන් විසින් තැපැල් ඡන්ද අයැදුම්පත් පෞද්ගලිකවම පරීක්ෂා කර බලා ඉල්ලුම්කරුගේ අනන්‍යතාව පිළිබඳව නිසැක වීමෙන් අනතුරුව අයැදුම්පත සහතික කළ යුතුව ඇතැයි ද සහතික කරන ලද අයැදුම්පත් හැකි වහාම ඡන්ද හිමියාගේ ඡන්දය ලියාපදිංචි දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී වෙත ලැබෙන සේ යැවිය යුතු යැයි කොමිෂන් සභාව පවසයි.
තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන 2019 ඡන්ද හිමි නාමලේඛන තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට (www.election.gov.lk) පිවිසීමෙන්ද අංක 1919 මඟින් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමැතීමෙන්ද ලබාගත හැකි බවත් ඊට අමතරව අවශ්‍ය වන තොරතුරු ලබාගැනීම සඳහා 2019 ඡන්ද හිමි නාමලේඛන සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, සියලුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල, සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා සියලුම ග්‍රාම නිලධාරී කාර්යාලවල අදාළ බල ප්‍රදේශයට අයත් වන ඡන්ද ප්‍රදේශයේ නාම ලේඛනය ප්‍රදර්ශනයට තබා ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, නිදහස් චතුරශ්‍රය, කොළඹ 7, කම්කරු දෙපාර්තමේන්තුව, කම්කරු මහලේකම් කාර්යාලය, නාරාහේන්පිට, කොළඹ 5, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, 243/3/ඒ, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල, තැපැල් මූලස්ථානය, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, මාලිගාවත්ත, සෙත්සිරිපාය පළමු අදියර කාර්යාල සංකීර්ණය, බත්තරමුල්ල යන කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ කාර්යාල සංකීර්ණවල ඡන්ද හිමි නාමලේඛන තොරතුරු පරිගණක ආශ්‍රයෙන් අයැදුම්කරුවන් වෙත ලබාදීමට කටයුතු කරනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

එසේම, තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගන්නා දිනය නැවත දීර්ඝ කිරීමක් නොකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අවධාරණය කරයි.

තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගන්නා අවසන් දෙදින තුළදී සහතික කරන අයැදුම්පත් තැපෑලට භාරදීම වෙනුවට ආසන්නතම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට අතින් ගෙනැවිත් භාරදීම වඩාත් සුදුසු බවද කොමිෂන් සභාව පෙන්වා දෙයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top