එක් එක් ආහාර වර්ගයන්හි පැවතිය යුතු උෂ්ණත්වයක් තිබෙන නමුත් මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ආහාර වර්ග අධික හිරු එළියට නිරාවරණය වීම සිදුවේ.
මේ නිසා ,එම ආහාරවලට ලැබෙන උෂ්ණත්වය වෙනස් වීමේදී ඒවායේ රසායනික සංයුතීන් වෙනස් වීමට ලක්වන බැවින් ඒවා ආහාරයට ගැනීමෙන් ලෙඩ රෝග බෝ වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පවසනවා.
එම නිසා හිරුඑළියට නිරාවරණය වී ඇති ආහාර මිලදී ගැනීමේදී පාරිභෝගිකයා සැලකිලිමත් විය යුතු බව, මහේන්ද්‍ර බාලසූරිය මහතා අවධාරණය කර සිටියි.
තවදුරටත් කරුණු දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ ප්ලාස්ටික් ජල බෝතල්, බීම වර්ග, ලුණු, අයිස්ක්‍රීම්, කිරි වර්ග නියමිත උෂ්ණත්වයේ නොතිබුණහොත් ඒවා ආහාරයට ගැනීම අහිතකර වන බවයි.
ලුණු හිරු එළියට නිරාවරණය කිරීමෙන් ඒවායේ අයඩීන් වාෂ්ප වී යෑම, ප්ලාස්ටික් ජල බෝතල් අධික හිරු එළියට නිරාවරණය වීමෙන් ඒවායේ රසායනික සංයුතීන් වෙනස් වීම, බීම වර්ගවල වර්ණය වෙනස්වීම, අයිස්, යෝගට්, කිරි වර්ග ඉක්මනින් නරක් වීම සිදුවන බවද ඔහු පවසනවා.
මේවා ආහාරයට ගැනීමෙන් පිළිකා රෝග, අස්ථි ආබාධ, ගැස්ට්‍රයිටීස්, වමනය, හිසරදය, පාචනය වැනි විවිධ අසාත්මිකතා ඇතිවිය හැකි බැවින් මේ දිනවල පවතින අධික හිරු රශ්මියට නිරාවරණය වන ආහාර භාවිතයෙන් වැළකී සිටින ලෙස ඔහු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා

