ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහමැතිවරණය සඳහා සන්ධානගතව තරඟ කරන තත්වයක් තුළ එහි පොහොට්ටුව පාර්ශවය සහ ශ්‍රීලනිප පාර්ශවය ලෙස බෙදී එකිනෙකාට ප්‍රහාර එල්ල කරගන්නා ආකාරයක් මේ දිනවල දකින්නට ලැබේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ දිගින් දිගටම වාග් ප්‍රහාර එල්ල කරමින් සිටී. ඊට ප්‍රතිචාර වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියූ “උකුසු කතාව” ද සමාජය තුළ දැඩි කතාබහට ලක්වූ කාරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා සිටියේ ඡන්දයෙන් පසු නැවත පළුවක් ගලවාගෙන එජාපයට යාවිදැයි තමාට සැකයක් ඇති බැවින් “මෛත්‍රීට ගෑවිච්ච එකෙකුටවත් මනාපයක් නොදෙන” ලෙසයි.
එහෙත් මේ වන විට ප්‍රසන්න රණතුංග, රොෂාන් රණසිංහ, ශෙහාන් සේමසිංහ ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ශ්‍රීලනිප මන්ත්‍රීන්ට එරෙහිව දිගින් දිගටම දැඩි ප්‍රකාශ නිකුත් කරන තත්වයක් තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ නිශ්ශබ්ධව සිටීම පිළිබඳ ශ්‍රීලනිප පාර්ශවය දැඩි ලෙස කලකිරීමට පත්ව ඇතැයිද වාර්තා වේ.
ඔවුන් කියා සිටින්නේ සංවිධානාත්මකව පරාජය කිරීමට පියවර ගැනීම පිළිබඳ තම දැඩි විරෝධයක් එල්ල කරන බවයි. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තම “උකුසු කතාව” පොළොන්නරුවට කියූ කතාවක් බවත් රටට එය අදාළ කරගත යුතු නැති බවත් තමා අවධාරණය කරන බවයි.

